ශශී



ඔන්න ඉතිං ආයෙත් සීත කාලෙ ඇවිත්. තව ටික දවසකින් හිම වැටෙන්න පටන් ගනීයී.
ලංකාවට හිම වැටෙන්නෙ නැතත් දැන් ලංකාවෙ ඉන්න යාළුවන්ට ෆේස්බුක් වලින් හිම බලන්න පුළුවන්. හොඳම ක්‍රමේ තමා ළඟදි යුරෝපෙට ආව 7,8 දෙනෙක් ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ඉන්න එක. 
හිම වලට කෝඩු කාරයෙක් නම් ඒ පළවෙනි අවුරුද්දෙ හිම වැටෙන කන් බලන් ඉන්නව ඉතිං කොහොම හරි ෆොටෝ එකක් ගහ ගන්න. ඉතිං හිම වැටෙද්දි කැමරාවක් අටවගෙන තකහනියක් යනවා ෆොටෝ ගහන්න. එතකොට සෙල්සියස් අංශක බිංදුවට රින එකට විතර තියෙන හිංදා අනිවාර්‍යයෙන්ම අත් මේස් දාන්න වෙනවා. ඉතිං අත් මේසුත් දාගෙන කොහොමද කැමරාවෙ බට්න් ආම් බාං කරන්නෙ. ඒ හිංදා අත් මේසුත් ගලවගෙන හීතලේ ඇඟිලි පුපුරු ගහද්දි කොහොම හරි කට්ට ගහලා ලස්සන ෆොටෝ එකක් ගහ ගන්නවා.




 ෆේස්බුක් එහෙම දාන්න පුළුවන්නෙ. කිව්වට මොකද මේ උඩ තියෙන ෆොටෝ එකත් මම ගහගත්තෙ ඒ විදිහට තමා....
ඊළඟට දෙවෙනි අවුරුද්ද විතර වෙනකොට හිම වැටෙද්දි අර තරම්ම උනන්දුවක් නැති උනත් ආයෙත් යනවා කැමරාව අටෝගෙන එහෙම ෆොටෝ ගහන්න . (අච්චරම ෆොටෝ ගැහුවෙ නැතත්) පළවෙනි අවුරුද්ද තරම්ම කාලය නාස්ති කරන්නෙ නෑ. ඒත් හිම වැටෙනකන් බලන් ඉන්නවා. 
තුන් වෙනි අවුරුද්ද විතර වෙන කොට ඔන්න හිම වැටෙන කාලෙට ෆොටෝ ගැහිල්ලනම් නවතිනවා. ඒත් කොහෙ හරි යමින් ගමන ෆෝන් එකේ කැමරාවෙන් ෆොටෝ එකක් ගන්නවා. හිම ගැන එච්චරම උනන්දුවක් නෑ. ඒත් වැටෙද්දි ආසයි.
හතර වෙනි අවුරුද්දෙ හිම වැටෙන කොට ගානක්ම නැති වෙලා. දැන්නම් හිම වැටුනත් එකයි, නැතත් එකයි කියලා හිතාගෙන පාරෙ හිම ෆොටෝ ගහන එවුන්ට යටි හිතින් හිනා වෙවී ඉන්නවා. මොනා උනත් වැටෙන වෙලාවට පොඩ්ඩක් ආතල්.
ඔන්න පස් වෙනි අවුරුද්ද විතර වෙන කොට හිම වැටෙනවා කියලා කාලගුණ නිවේදනයට කියන කොටත් යකා නඟිනවා. වැටෙන වෙලාවට පොඩි කික් එකක් තිබ්බත් මේ මොන රෙද්දක්ද කියලත් හිතෙනවා....

මම ගිය අවුරුද්දෙ හිම වැටෙන වෙලාවක පාර දිගේ ඇවිදන් යද්දි හම්බුනා ලංකාවෙ අංකල් කෙනෙක්. අවුරුදු 25 ක් විතර මෙහෙ ජීවත් වෙච්චි. අවුරුදු 7 කින් ලංකාවට ගිහින් නෑ කිව්වා මොකද දන්නෙ නෑ... මාත් එක්ක කතාවට වැටිලා සිගරට් එකකුයි ලයිටරේකුයි එළියට අරගෙන  බංකුවක ඉඳ ගත්තෙ "හිම වැටෙන වෙලාවට හීතලේම සිගරට් එකක් ගහන එක තරම් සනීපයක් තවත් නෑ" කියලයි..  

හිම වැටිල ඉවර වෙලා යාන්තමට පාවෙන  තුහින වල තෙතමනයත් එක්ක ගින්දර පත්තු කරන්නෙ කොහොමද කියලා මම බලාගෙන හිටියා.... එක පාරයි. සිගරට් එක පත්තු කළා..... සිගරට් බීමටත් අවුරුදු ගානක පළපුරුද්දක් තියෙනවා කියලා මට හිතුනා..
එතකොට මට මතක් උනේ ෆේස් බුක් එකේ ජනප්‍රිය කවිකාරයෙක් වෙච්චි "රුවන් බන්ධුජීව " ලිව්ව කවියක්.

" වීසි කරන්නද මම 
හිම කැටයක් නුඹ දෙසට 
ගල් පොත්ත මත වාඩි වී
සිගරට්ටුවක් උර කොට හවසට...."

ඉතිං මමත් අංකල්ට මේ "හිම වැටීමේ පරිණාමය" පොඩ්ඩක් විග්‍රහ කළා. අංකල් හක හක ගගා හයියෙන් හිනා උනා. ඊට පස්සෙ සැහෙන වෙලාවක් සිගරට් එක උරන ගමන් මොනාදෝ කල්පනා කළා. මට ඒ වෙලාවෙ හිතුන මිනිහට වෙරිද මන්දා කියලත්.
මේ කතාව අහලා අංකල් මරු කතාවක් කිව්ව. විසි පස් වෙනි අවුරුද්ද විතර වෙනකොට "හිම" කියන වචනෙ කියන්න ඕනෙ නැහැලු "හි" යන්න කියන කොටත් කට්ටිය දුවනවලු. 
මේ පාර මම හක හක ගාල හයියෙන් හිනා උනා. 
අන්තිමට අංකල් එයාටම කියා ගත්තෙ "හරියට ආදරේ කියන ඉටිගෙඩිය වගේම තමා කියල"



7 Responses
  1. රුවන් බන්දුජීව කිව්වම මතක් උනේ...කැම්පස් බුවෙක්.. අපිට වැඩිය හුඟාක් සීනියර්. මම හිතන්නෙ ජ'පුරේ...මේ කියන්නෙ එයා ගැනද මන්ද...

    හිම වැටෙද්දී බලන්න ආසයි...ඒක හරියට සුරංගනා කතාවක වගේ...
    හැබැයි අන්කල් හරි...ආදරේ කියන්නෙ හිම වගේ දෙයක් තමා... කාලෙකදී ඇතිවෙලා කාලෙකදී නැතිවෙලා යන...අනේ මන්ද...මට නම් එපා එහෙම ආදරයක් :P


  2. ශශී Says:

    හරියට හරි ලිහිණි ඒ රුවන් තමා :)


  3. Buru Babe Says:

    හිම කතා කීවම මතක්වුනේ මගෙත් ප්‍රියතම අංගයක් තමයි හිම අස්සේ සිගරට් එකක් දල්වා ගන්න එක. එක තත්පර කිහිපයක විඳීමක් හැබැයි බොහෝ දේවල් දැනෙන. හරියට මට මම හොයා ගන්න වගේ.
    හිම අස්සේ සිගරට් එක බොහොම වේගෙන් දැවී යන හින්දා වෙන්න ඕන මේ සුන්දරම හැඟීම.
    ඉස්සර මගේ ප්‍රියතම විනෝදාංශයක් තමයි හිම පදින්න යන එක. ඉතින් ඒ පුරුද්දට තාමත් හිම ඇඳුම් කඩේකට ගිය ගමන් තාමත් ඔය එක එක උපාංග උස්සගෙන එනවා. ඒ වුනාට අන්තිමට හිම පදින්න ගියේ මීට වසර බර ගාණකට කලින්. ඒවට කොහෙද අර බඩු අල්මාරියේ තියාගෙන ඉන්දෙදි දැනෙන සුන්දර හැඟීම. හා හා.... (පස්සේ ටික කාලෙකින් කාට හරි දීලා දාන එක වෙනම එකක්.. ඒ උනාට තාමත් ආශාව එහෙමමයි...)
    අදටත් මගේ ජීවිතයේ සුන්දරම මතක තියෙන්නේ හිම එක්ක. කොයි තරම් හිම වැටුනත් මට එපා නොවෙන්නෙත් ඒක හින්දම වෙන්න ඇති.


  4. ItalyDilan Says:

    අපිට හිම නෑ බන්


  5. ශශී Says:

    @ ලිහිණි - ඒ කියන්නෙ ලිහිණිට හිම වගේ ආදරයක් එපා

    @ Il Mondo Di Una Povero Pazza - හිම වැටෙන කාලගුණය, මීදුම තියෙන ඝන අඳුර ඇත්තටම කලාත්මක සිතුවිලි මවනවා, පාළුව වැඩි කරනවා.. ඒක අමුතු වින්දනයක් තියෙන දුකක්.

    @ ItalyDilan- නැති එකත් වෙලාවකට හොඳයි බන්


  6. Unknown Says:

    ඔන්න මමත් ආවා...... කියවන්න වෙලාව මදි අයියා... සටස් ගාල එන්නම්...


  7. ශශී Says:

    සාදරයෙන් පිළි ගන්නවා යාන්ත්‍රික මල්ලි :)


Post a Comment