ශශී

ගානට රයිම් කරලා
පදත් ලස්සනට ගලපලා
කවිය ලියන්න ලෑස්ති වෙන කොටම
මට කළින්
කවුදෝ එකෙක්
ඒ කවියම ලියලා
එළිසමෙත් නැතුවම
පද ගලපන්නෙත් නැතුවම........


ශශී
නිහඬ අරගලය නුඹ
මුද්‍රා තැබූ හදවතක 
රුදුරු හිරු එළිය නුඹ
නිසල සඳ වත දවන

ඝනාන්දකාරය නුඹ
තරු එළිය විසුනු කළ
රුදුරු ජල තරඟ නුඹ
සිත් ඉවුර දෙකඩ කළ....




ගොම්මන් පාළුව. මුහුදු වෙරළක, විසාල ගස් තියෙන උද්‍යානයක නැත්නම් වැවක් ළඟ පාළුව විඳලා තියෙනවද.... වටේ පිටේ කොච්චර සෙනඟ හිටියත් මේ වගේ තැනක හවස් යාමෙදි තනි උනහම රසම රස පාළුවක් විඳින්න පුළුවන්.
                  මේ තියෙන්නෙ "zසූරිච් සේ" කියන වැව. Zසූරිච් සහ ශාන්ත ගාලන් දිස්ත්‍රික්ක දෙකේ සීමාව වෙන් වෙන ස්ථානයක්. අර ඈත කඳු යාය පේන්නෙ zසූරිච් නගර සීමාවේ. මම දැන් ඉන්නෙ මෙහා සීමාවේ රප(ර්)ස්විල් කියන නගරයේ. හරියට ආදරේ වගේම කියලා හිතෙනවා මට. ඇය එහා කොණේ. මම මෙහා කොණේ. ඒත් මේ වැව කියන සුන්දරම අභියෝගය ජය ගන්න ඕනෙ එහා කොණෙට යන්න නම්............
                        ඒ හැන්දෑව සීතල හවසක්. ගිම්හාන කාලෙ උනාට හීතල පිණි බිංදු ඇඟ දැවටුණු හවසක්. ඇති වෙන්න නෑවා මේ වැවේ. නාල එද්දි ඉරත් බැහැ ගෙන ගිහින් ... ඉර බැහැගෙන යන දිහා මොහොත බලාගෙන ඉඳපු මම මේ වතුරෙ සුවඳයි, මේ ඉර මඬලයි එක්ක පාවෙලා ආවා හදවතින් ලංකාවට....
                        ලංකාවෙ මුහුදු වෙරළක ගොම්මන විඳිනවා වගේම තමයි. ආයෙත් ලංකාවට ඇත්තටම යන්න හිතක් නැද්ද මන්දා මට.  අනේ මන්දා. හිතට එන්නෙ දුක්බරම සිතුවිලි..... මේ වැව ඉවුරෙ ඉඳගෙනම ලිව්ව හිතට ආපු සිතුවිල්ලක්.....                     
ශශී

අපි ජීවිතේ ගෙවන්න සිද්ධ වෙන විවිධ අවස්ථාවන් අනුව විවිධ සමාජ කණ්ඩායම් වලට සමාජගත වෙන්න සිද්ධ වෙලා තියෙනවා. අපි කවුරුත් දන්න කියන විශ්ව විද්‍යාල උප සංස්කෘතිය බිහි වෙලා තියෙන්නෙ, අන්න ඒ වගේ ලංකාවෙ සමාජය තුළ විවිධ රැකියා, වෘත්තීන්, සිසුන් අතරත් යම් තරමකට උප සංස්කෘතීන් බිහි වෙලා තියෙනවා.
            මම මෙතනදි කියන්න යන්නෙ ශ්‍රී ලාංකිකයන් සමාජ ගත වෙච්චි ඉතාලිය කියන ඒකකයෙදි ගොඩනැඟිලා තියෙන උප සංස්කෘතිය ගැන කරුණු කාරණා ටිකක්.
                 හොඳයි, ඉතාලියෙදි කවුරු හරි ඔයගෙන් ඇහුවොත් කොල තියෙනවද කියලා උඩ බිම බලන්න එපා. ඒ අහන්නෙ නීත්‍යානූකූලව රැඳී සිටින්න බලපත්‍රය තියෙනවද කියලා. අනවසරයෙන් රැඳී සිටින අයට තමා කොල නැති කස්ටිය කියලා කියන්නෙ.
                    මුලින්ම ජොබ් එකක් කරන්න පටන් ගද්දි කියන්නෙ ජොබ් එහෙකට නඟිනවා කියලා. ඒ වගේම අස් වෙනවා නම් කියන්නෙ ජොබ් එකෙන් බහිනවා කියලා. ඒ විතරක් නෙමේ. ජොබ් එක පටන් ගන්න වෙලාවට. ඉවර කරන වෙලාවටත් නඟිනවා, බහිනවා කියල කියනවා. මම ජොබ් එකට නඟින්නෙ උදේ 9 ට. බහින්නෙ හවස 5 ට. තේරුනාද කට්ටියට?                      
                      එතකොට කාමරයක් පිරිසිඳු කරනවට කියන්නෙ කාමර ගහනවා කියලා. වීදුරු පිරිසිඳු කරනවට වීදුරු ගහනවා කියලා. එහෙම කිව්වා කියලා පොල්ලක් එහෙම අරගෙන වීදුරු වලට ගහන්න එහෙම එපා. කාමර පිරිසිඳු කරන එකට තව කියනවා කාමර කරනවා කියලා. ඒ කියන්නෙ ඉතාලි බාශාවෙන් ආපු වචනෙ ඒ විදිහටම සිංහලට පරිවර්ථනය කරලා. (ෆාරෙ ඌනා කාමෙරා ) මෙතනදි ෆාරෙ කියන්නෙ කරනවා කියන තේරුම. "ෆාරෙ ඌනා කාමෙරා" කිව්වොත් ඒ කාමරයක් පිරිසිඳු කරනවා කියන එක. අපේ අය කෙළින්ම කාමරයක් කරනවා කියලා පරිවර්ථනය කරලා තියෙනවා.
                ගොඩක් අය ස්ථීර රැකියාවක් වෙනුවට කරන්නෙ පාර්ට් ටයිම්. දවසෙ පැය 10 ක් 12 ක් විතර වැඩ කරන මේ අය පැය දෙකක් මෙතන, පැයක් අතන, පැය තුනක් තවත් තැනක. සමහරු කන්නෙත් මහ පාරෙදි, අන්න ඒ වගේ. මේවට කියන්නෙ පාර්ට් ටයිම් කෑලි. මාත් ඉස්සර හරිහමන් ජොබ් එකක් නැති කාලෙ උදේ පොඩි ජොබ් එහෙකුයි. දවල්ට පැයක විතර පොඩි පාර්ට් ටයිම් එහෙකුයි කලා. මේකට යද්දි මඟදි හම්බ වෙනවා ලංකාවෙ අන්කල් කෙනෙක් ටිකක් කට සද්ද. විනාඩියක් විතර කථා කරලා යනවා. ටික දවසකින් මට ෆුල් ටයිම් ජොබ් එකක් හම්බුනාම අර පාර්ට් ටයිම් එක නතර කලා. මේ ළඟදි දවසක අර අන්කල් හම්බෙලා ඇහුවා. " පුතා දැන් අර පාර්ට් ටයිම් කෑල්ල ගහන්නෙ නැද්ද"කියලා. පස්සෙයි වැඩේ මීටර් උනේ. සමහරු ජිම් වල, ඔපිස් වල, බෙහෙත් සාප්පු වල එහෙම පාර්ට් ටයිම් ජොබ් කරනවා. මේවට කියනවා ජිම් එක ගහනවා, ඔපිස් එක ගහනවා කියලත්. ආ කියන්න අමතක උනා බත් උයනවටත් කියනවනෙ බත් ගහනවා කියලා.
                      අපේ අය මෙහෙ වචනත් අපිට ගැලපෙන විදිහට හදාගෙන තියෙනවා. "APPUNTAMENTO" (අපුන්තමේන්තො ) කියන්නෙ අපොයින්මන්ට් කියන එක. ගොඩක් වචන පටන් ගන්නෙ "අ" අකුරෙන් නම් ඒක සද්ද කරන විදිහ ඇහිල ප්‍රනවුන්ස් කරන්න ගියහම ඉබේම "අ" යන්න ලොප් වෙනවා. ඉතිං ඒ ඇහෙන විදිහයි අපේ ක්‍රමෙයි එකතු කරලා කට්ටිය මේ වචනෙ හදාගත්තා "පුන්තමේන්තුව" කියලා. ඒ වගේම "හීටර්" වලට කියන"රිස්කල්දමේන්තො" කියන වචනෙ "රිස්කල්දමේන්තුව" උනා. කොටින්ම මඟීන් ප්‍රවාහනය කරන දුම් බෝට්ටුව "වපොරෙත්තො" "වපොරෙත්තුව" උනා. ඒ වගේ "න්තො", "ත්තො" කියන අකුරු වලින් ඉවර වෙන වචන ගොඩක් අපේ විදිහට හදාගෙන තියෙන්නෙ. මම ජීවත් වෙන නගරයේ තියෙනවා "ෆින්කන්තියේරි" කියලා ලොකු නැව් හදන ෆැක්ට්‍රි එකක්. අපේ අය අකුරු ලොප් කරලා, විසන්ධි කරලා එහෙම අපේ ක්‍රමේට හදා ගත්ත "පිංකන්තේරිය" කියලා.              
                       අපිට මේ වගේ යුරෝපා රටවල් වලදි ආශ්‍රය කරන්න හම්බ වෙනවා අපේ අහළ පහළ ආසියානුවන්. චීන්නු, පාකිස්ථාන්, පිලිපීන්, බංග්ලාදේශ වගේ අය. ඒ අයටත් අපේ අය පහසුවට නම් හදාගෙන ඉන්නෙ. චීන්නුන්ට චව්වො, පාකිස්ථාන් අයට පක්කො, පිලිපීන් අයට පිල්ලො, බංග්ලදේශ් අයට තෙල්ලො ඔය වගේ නම්. මේවා අපහාසෙට කියන ඒවා නෙමේ ඉතිං. හඳුනා ගැනීමේ පහසුවට.
                       ඔය වගේ තව ගොඩාක් තියෙනවා. මතක් උනොත් ආයෙ ලියන්නම්. මෙන්න මේ සිංදුව අහන්න්කො. මේකෙත් තියෙනවා උප සංස්කෘතියෙ වචන දෙකක් තුනක්. අහල බලන්නකො.

"සල්ලි පොකුරු මිල්ලෙ අහුරු සිහින විලේ බඹර රැඟුම් පානා
පුංචි රටක පුංචි අපට සිහින සැබෑ වෙන්න වරම් ඕනා
සතුටු කඳුළු වැස්ස මතින් මුතුකුඩ ඉහළන්න අපට ඕනා
හිතේ සවිය ගතේ දිරිය අපිට තියෙන එකම විරිය වීලා"



http://www.youtube.com/watch?v=fiYDNlCU2Js                     
ශශී

ඔන්න ඉතින් රස්නෙ කාලෙත් පටන් ගත්තා. වටේ පිටේ ටිකක් ඇවිදින්න යන්න, මුහුදේ නාන්න යන්න රස්නෙ කාලෙ එනකන් කට්ටිය ඇඟිලි ගැන ගැන තමයි බලන් ඉන්නෙ....
                 කොහොමින් කොහොම හරි පහුගිය දවසක මාත් මගෙ මිතුරන් කීප දෙනෙකුත් එක්ක ගියා පොඩි සංචාරයක්. හරියටම කියනවනම් මම ජීවත් වන නගරයටම අයත් ලස්සන දූපතකට.....මේ දූපතට යාම සඳහා මේ නගරයේ සිට පැයක පමණ කාලයක් බෝට්ටුවක යාත්‍රා කළ යුතුයි. අපේ ගමන සඳහා මේ දූපත තෝරා ගැනීමට එක අරමුණක් උනේ මෙහි සේද රෙදි කර්මාන්තයට ප්‍රසිද්ධ නිසා. පාරවල් දෙපස රෙදි සහ නූල් ආදී කළමනා තබාගෙන සංචාරකයන්ගේ රිසිය අනුව ලේන්සුවේ සිට මනාලියන්ගේ ඇඳුම් දක්වාම විවිධ දෑ මොවුන් නිර්මාණය කරනවා.
           නමුත් අපේ මූලික අරමුණ උනේ සේද රෙදි නැරඹීම පමණක් නොවේ. ඊටත් වඩා මේ දූපතේ විශේශත්වයක් තියෙනවා. ඒ තමයි මේ දූපතේ තනා ඇති සෑම නිවසක්ම එයට ආවේණික වූ වර්ණයකින් වර්ණ ගන්වා තිබීම. මෙය වර්ණ දූපත යනුවෙන් හඳුන්වන්නේ මේ නිසායි.
      මෙහෙම කිව්වට වැඩක් නැහැනෙ. ෆොටොස් වගයක් තියෙනවා. බල බලම කථා කරමු.( ඔයාලට ෆොටෝස් පේනවා පොඩි වැඩීයි නම් ඒක උඩ ක්ලික් කරන්න. )  මේ තියෙන්නෙ අපි ගමන ආරම්භ කරපු තැන. - වෙනිස් ශාන්ත සකරියා බෝට්ටු නැවතුම.

තට්ටු දෙකකින් යුකත වූ බෝට්ටුවේ අපි ගියේ උඩ තට්ටුවේ... මේ ඉන්නෙ තවත් මඟීන් කිහිප දෙනෙක්.
ගමනේ භාගයක් අවසන්. ඈත පේන්නෙ ඉස්සරහට එන නැවක්.
නැව තව ටිකක් ළඟට ආවහම.
පාට දූපතට ළං වෙනකොට.
දැන්නම් බහින්න ළඟයි.
දූපතේ ඇති වර්ණ ගැන්වූ නිවාස වල චායාරූප කිහිපයක්.
නිදහස් චතුරස්‍රයක ඇති අවන්හලක්.
දූපත තුල ඇති කුඩා ඇළ මාර්ග.( ලංකාවේ මුහුද වෙරළට ගියහම දැනෙන ඒ කරදිය සුවඳ ලුණු මිශ්‍ර සුවඳ ඒ වගේම මෙතනත් දැනෙනවා )
දූපතේ ඇළ මාර්ගයක් ඔස්සේ පෙනෙන ඈත ක්ශිතිජය.
මේ චිත්‍රයක් එහෙම නෙමේ.
හප්පා...... ඇවිදලා, ඇවිදලා මහන්සියට පිත්zසා කෑල්ල්කුයි, කොකා කෝලා ටින් එකකුයි අරන් ඉඳ ගත්තා මේ ගස් හෙවණේ.  (දේශ ද්‍රෝහී තොප්පිය දාන්න එහෙම එපා කොකා කෝලා බිව්වා කියලා ) මොනා කරන්නද ඉතින්. උශ්ණත්වයත් සෙල්සියස් අංශක 29 යි. කොච්චර රස්නෙ උනත් හොඳට දුරු මිරිස් දාල ඒදපු පරිප්පු හොද්දකුයි අච්චු පාන් හත අටකුයි තිබ්බා නම් කියලා අපිට හිතුනා.
ආපහු එමින් ගමන් බෝට්ටුවේ.
හොඳයි මේ දූපතේ නම තමයි බුරානෝ. ඔයාලට ත් ගූග්ල්, යූ ටියුබ් එහෙම සර්ච් කරල බැලුවොත් තව තවත් විස්තර දැන කියා ගන්න පුළුවන් වෙයි. එහෙනම් අදට නවතින්නම්.
ශශී

2009 මැයි මාසෙ 19 වෙනිදා. ඒ දවස ශ්‍රී ලාංකිකයින්ට කවදාවත් අමතක වෙන්නෙ නැති දවසක්. අවුරුදු 30 ක් පුරාවට අපේ රටට වින කරපු යුද්ධය ඉවර වෙලා නිදහසේ  හුස්ම ගන්න පුළුවන් කියන සිතුවිල්ල හදවතට දැනුන ඒ දවස කොහොම අමතක වෙන්නද?
      ඒත් මම මේ ලියන්න යන්නෙ යුද්ධය ගැන නෙමේ. ආදර කථාවක් ගැන. යුද්ධය පිටුපස තිබුණු ආදර කතා අතරින් සුවිශේශීම ආදර කථාවක් ගැන. මාතෘකාව දැක්කහම ගොඩක් අය ඒ කථාව දන්නවත් ඇති.
 හොඳයි, කාලයකට ඉහත 90 දශකයේ පමණ කොටුව පොලිස් ස්ථානයේ සේවය කළා දෙමළ ජාතික පොලිස් නිළදාරියෙක්. එතන සිංහල අය වගේම දෙමළ අයත් ගොඩාක් සේවයේ යෙදිලා හිටියා. මේ තරුණ නිළදාරියා කාලයක් යද්දි ආදරයෙන් බැඳෙනවා එතන සේවය කරන සිංහල ජාතික පොලිස් නිළදාරිණියක් එක්ක. ඒ වෙනකොට යුද්දයේ ගිණි දැල් බිහිසුණු ලෙස මුළු රටම වෙලා ගෙන තිබුනා. උතුරේ තමන්ගෙ ජාතියට වෙන කෙණෙහිළිකම්, දකුණේ තමන්ගෙ ජාතිකයන්ට මුහුණ දෙන්න වෙන කෙණෙහිළිකම් දකින මේ පොලිස් නිළදාරියා බොහෝම හිතේ දුකෙන් තමයි තමන්ගෙ රාජ කාරිය කරන්නෙ. ජාතිවාදී ගිණිදැල් බොහොම උත්සන්න උණු අවස්ථාවක මොහු තමන්ගෙ රස්සාවට ආයුබෝවන් කියලා යනවා උතුරට. ඒ තමන්ගෙ ජාතිය වෙනුවෙන් අරගලයක් කරන්න හිතාගෙන. තමන්ගෙ සිංහල ජාතික පෙම්වතිය ට කරුණු පහදල දීල ගියත්, ටික කාලයකින් හැමදේටම වඩා වටින තමන්ගෙ ආදරය හොයාගෙන මේ සිංහල කෙල්ල උතුරට යනවා...මේ කථාව අපේ සිංහල ගීත රචකයෙක් මෙන්න මෙහෙම ලියනවා.

 "සිංහල සිංදු කියන
 නළලේ තිලක තියෙන කිරිල්ලී
 තුඩින් හදවතක් අරගෙන
 ගිණිගත් තල් අරඹට ආවදෝ ඉගිල්ලී"

තමන් වගේ අන්‍ය ජාතිකයෙක් සමඟ විවාහ වීම මල් පොකුරක් වෙනුවට කටු පොකුරක් අතට ගත්තා හා සමාන බව මේ දෙමළ තරුණයා නොදන්නවා නොවෙයි. ඔහුගේ හැඟීම් අපේ ගීත රචකයා පද රචනය කරනවා මේ වගේ..

" දිව නුහුරු බසින් පෙම් කවි කී කුරුල්ලාට වශි වී
 ගිණි මලින් තැනූ මල් පොකුරක් අතට ගත්තු මනාළී
මධු සමේ මධුර මල් අතරේ පිපී වැනුන සුරූපී"

        දැන් යුද්දයේ දරුණුම කාල පරිච්ඡේදයක්. තමන්ගෙ ජාතිය වෙනුවෙන් හඬ නඟන අරගල කරන පිරිසක් ඉන්නවා. පොත් පෑන් අමතක කරලා, තමන්ගෙ වෙනත් රැකියාවල් වලට සමුදීලා තමන්ගෙ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන පිරිසක් ඉන්නවා. තමන්ගෙ අයිතිය වෙනුවෙන් දිවා රෑ හඬන මේ පිරිස ගැන අපේ ගීත රචකයා මෙහෙම ලියනවා.

" ගිණි අවිත් එක්ක පෙමින් බැඳුණු විහඟ සෙනඟ හඬාවී"

මෙතන දි මෙම පිරිස විහඟුන් යනුවෙන් හඳුන්වන්නෙ ඇයි කියන එක ගැන මට පොඩි ප්‍රශ්ණයක් තිබුනා. එතනදි මොවුන් ත්‍රස්ථවාදීන් ලෙස නොව තම අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන කැරලිකාරයක් පමණක් බව හඳුන්වන්නට යෙදුනු වචනයක් විය හැකීයී.. ඊටත් වඩා සිංහලයින් සිතා ගෙන සිටින විදිහට ඔවුන් නපුරු මිනිසුන් නොවේයැයි කීමට මෙයා භාවිතා කළා විය හැකියී. ඒත් මේ දේවල් කොහොමද සිංහල මිනිස්සු අතරට ගෙනියන්නෙ. ඒකට ආයුධයක් විදිහට තමන්ගෙ සිංහල ජාතික බිරිඳව යොදා ගත හැකි වේයැයි මේ දෙමළ නිළදාරියා සිතූ වාර අනන්තයයි. අපේ ගීත රචකයා ඒක ලියන්නෙ මෙන්නෙ මෙහෙම

"ඒ කඳුළු සිංහලට නඟන්න නුඹට හැකිය ප්‍රියාවී"

නමුත් ඇයට ඒ සඳහා බලපෑමක් නැහැ... ආදරය තෝරා ගන්නාවද නැද්ද කියන කාරණය ගැන ඇයට තවමත් නිදසේ තීරණයක් ගන්න පුළුවන්. අර තරුණ දෙමළ නිළධාරියාගෙ කෝණයෙන් අපේ ගීත රචකයා ගීතයේ අවසාන පද වැළ මෙන්න මෙහෙම සටහන් කරනවා.

"ආදරය නුඹට බාරයි රැකගනින් දේවතාවී"

ගුණදාස කපුගේ මහත්මා ගායනා කරන මේ ගීතයේ පද රචකයා ඇත්තටම කවුද කියලා මම දන්නෙ නෑ. මේ ගීතය ගායනා කිරීම නිසා කපුගේ මහතාට ගොඩාක් ප්‍රශ්ණ වලට මුහුණ දෙන්න පවා සිදු උනා.  
                         යුද්ධය අවසන් දවසේ එක පෙලට මැරී වැටී සිටි ප්‍රබල ත්‍රස්ථවාදී නායකයන් කිහිප දීනෙකුගේ සිරුරු රූපවාහිනි තිරයේ සටහන් වුණු මොහොත මට අද වගේ මතකයි. ටික වෙලාවකින් මම ආදරය කරපු ඒ සොඳුරු ත්‍රස්ථවාදියාගෙ සිරුර රූපවාහිනී තිරයේ දිස් උනා. ඒ නඩේසන්. අනිත් ත්‍රස්ථාවාදීන් ගේ මරණය  හා යුද්ධය සහමුලින්ම ඉවර වීම පිළිබඳව ඒ මොහොතේ මා විඳවමින් සිටි සතුට අතරින් සිහින් දුකක් ගලාගෙන ගියා.
    නඩේසන් කියන්නෙ එල් ටී ටී ඊ යට ත්‍රස්ථවාදය වෙනුවට ජන අරගලයක මුහුණුවරක් දෙන්න උත්සාහ කරපු නායකයෙක්. බොහොමයක් නායකයන්ගෙ අදූරදර්ශී ක්‍රියා කලාපය නිසා එය ත්‍රස්ථවාදී සංවිධානයක් උනා. අදටත් ගොඩක් පිට රටවල් වල අය දන්නෙ එල් ටී ටී ඊ ය යනු කැරලිකරුවන් පිරිසක් බවයි. ඒ නිසාම තමා අපේ රටට මෙච්චර බලපෑමක් එන්නෙ. මමත් හදවතට එකඟව ත්‍රස්ථවාදය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ශේප කරන එල් ටී ටී ඊ යට විරුද්ධව යුරෝපෙදි උද්ගෝශණ වලට පවා සහභාගී වූ අයෙක්. නමුත් නඩේසන් මගේ ප්‍රියතම , මම ආදරය කරන චරිතයක් වී තිබුනා. අවසානයේ තමන්ගෙ සංවිධානය ත්‍රස්ථවාදී මුහුණුවරක් ගැනීම ගැන නඩේසන් දුකින් සිටි බවද සඳහන් වෙනවා. එල් ටී ටී ඊ සංවිධානයේ පොලිස්පති ලෙස නඩේසන් කටයුතු කළ අතර නඩේසන් ගේ සිංහල ජාතික බිරිඳ එහි කාන්තා පොලිස්පති ලෙස කටයුතු කළ බවද වාර්ථා උනා.

ශශී

මේ දවස් ටිකේ යුරෝපෙ තිබුණු ෆුට් බෝල් උණුසුමක් එක්ක කථා බහට ලක් වුණු ප්‍රධාන චරිතයක් තමා "මාරියෝ බලොතෙල්ලි" කියන්නෙ.  ඔහු නියෝජනය කළේ ඉතාලි කණ්ඩායමයි. විශේශත්වය වන්නෙ ඔහු ඉතාලි ජාතික කණ්ඩායම නියෝජනය කරපු පළමු කළු ජාතිකයා වීම.
       අවුරුදු 22 ක් පමණ වන උස අඩි 6 යි අඟල් 4 වුණු, සුවිශේශ කොණ්ඩ මෝස්තරයකට හිමිකම් කියන මේ ක්‍රීඩකයා  
මුළු තරඟාවලිය පුරාම ඉතාලි කණ්ඩායම වෙනුවෙන් වැඩිම ගෝල සංක්‍යාවක් ලබා ගත් ක්‍රීඩකයා ද වෙනවා. පැහැදිලිවම ඉතාලි කණ්ඩායමේ සුපිරි තරුව උනේ මේ මාරියෝ කියන ක්‍රීඩකයා බව අවිවාදිතයි.
         ඇත්තටම මේ ක්‍රීඩකයාගෙ අතීතය ගැන කළොත් මොහුව ඉතාලි ජාතික යුවළක් දරු කමට හදා ගත් ළමයෙක්. ඝානා රටේ කළු දෙමව්පියන්ට දාව ඉපදුනු මාරියෝ ආර්ථික අපහසුතා නිසා ඉතාලි "බලොතෙල්ලි" යුවල දරුකමට හදාගැනීමට බාර ගන්නවා. මොහුගේ මුල් නම වෙනස් කරමින් ඉතාලි නමක් වන මාරියෝ යන්නත්, වාසගම ලෙස බලොතෙල්ලි යන්නත් තැබෙනවා...
   පාපන්දු ක්‍රීඩාවට සුපිරි දස්කම් දක්වපු මේ ක්‍රීඩකයා21 න් පහළ ඉතාලි ජාතික කණ්ඩායම නියෝජනය කර පසුව ඉතාලි ජාතික කණ්ඩායමට එක් වීමේ භග්‍යය ලබනවා. කිසිම කළු ජාතික නියෝජනයක් නොතිබුනු ඉතලි ජාතික කණ්ඩායමට එක් වන පළමු කළු ජාතිකයා වීමේ භාග්‍යය ඔහුට ලැබෙනවා..
   2012 යුරෝපා කුසලානයේදී ඔහු සුපිරි දස්කම් දැක්වීමත් සමඟම ඉතාලිය පුරා බලොතෙල්ලි උන්මාදයක් හට ගැනුනා. අවසාන පූර්ව තරඟය තෙක්ම ඉතාලි කණ්ඩායම ඉදිරියට ඒමට මේ ක්‍රීඩකයාගෙ සුපිරි  දස්කම් විශාල රුකුලක් උනා. අවසාන පූර්ව තරඟය සඳහා ඉතාලිය සහ ප්‍රභල ජර්මනිය තරඟ වැදුනු අතර බොහෝ දෙනා( ඉතාලි ජාතිකයන් ) පවා සිතුවේ තරඟය ජර්මනිය ජය ගනු ඇති බවයි. නමුත් තරඟය උඩු යටි කුරු කරමින් මාරියෝ ලබා ගත් ගෝල දෙක නිසා ස්පාඤ්ඤය සමඟ අවසන් තරඟයට පිවිසීමට ඉතාලියට හැකි උනා. ජර්මනිය සමඟ පැවති තරඟය අවසන් වීමෙන් පසු බලොතෙල්ලි ඉතාලිය පුරාවටම සුපිරි වීරයෙක් බවට පත් උනා.
   මෙම චායාරූපයෙන් දැක්වෙන්නේ මාරියෝ තමන්ගෙ ටී ශර්ට් එකේ පවා මුද්‍රණ කරගෙන සිටින තමන්ගෙ ප්‍රියතම කියමන වෙන "WHY ALWAYS ME  " යන්න ඉතාලියේ බස් රථයක සටහන් වී තිබෙන ආකරයයි.
පහත දැක්වෙන්නේ ඉතාලියේ වෙරෝනා නගරය ආසන්නයේ පුද්ගලයෙක් තමන්ගේ ගොවි පළෙහි මාරියෝ ගේ සුවිශේශ කොණ්ඩා මෝස්තරයට අනුකූලව  වගා බිමක් සකස් කර ඇති ආකරයයි.

දෑසට කඳුළු නැඟෙන තවත් පින්තූරයක්... මෙහි දැක්වෙන්නේ ජර්මනිය සමඟ පැවති තරඟය ජය ගැනීමෙන් අනතුරුව තමාව හදා වඩා ගත් ඉතාලි ජාතික මව වැළඳ ගන්නා ආකරයයි. මේ අවස්ථාවේදී මාරියෝ පවසා ඇත්තේ මේ සියළු ගෝල ඔබ සඳහා බවයි.
මාරියෝ බලොතෙල්ලි හැඳින්වීම සඳහා ඉතාලි පාප්න්දු රසිකයන්  භාවිතා කළ සුරතල් නාමය වන " සුපර් මාරියෝ" යන්න තවත් බස් රථයක සටහන් වී තිබුණු අයුරු
අවසාන වශයෙන් මේ තරුණ ක්‍රීඩකයාට ඉතාලි කණ්ඩායම සමඟ දිගු ගමනක් යන්නට අපි ආසිරි පතමු. ජාතිවාදය පසෙකලා සුදුස්සන්ට සුදුසු තැන දුන් ඉතාලි පාපන්දු බලධාරීන්ටද පාපන්දු රසිකයන්ගේ ගෞරව ස්තුතිය හිමි විය යුතුය.