ශශී

පසු ගියදා පිල්ලේ මහත්මියගේ සම්ප්‍රාප්තියක් සමඟ රජයේ මැති ඇමති වරුන්ද තරමක් කලබලයට පත් වූහ ... ඒ අතරින් මර්වින් සිල්වා ඇමති තුමා ප්‍රධානය..... පිල්ලේ ට කරන ලද විවාහ යෝජනාවද, ඊට ප්‍රතිචාරද වශයෙන් තැන් තැන් වල ගතු කීම් ද වැඩි විය.
                              ජනාධිපතිතුමා මේ සම්බන්ධයෙන් සොයා බලා අපූරු යෝජනාවක් කළේ, තැන් තැන් වල කට කථා පැතිර යාම වැළැක්වීමටය. එනම් ඇමති තුමාට සහ පිල්ලේ මහත්මියට ප්‍රසිද්ධ වේදිකාවක හිටිවන කවි මඩුවක් පවත්වන ලෙසය..... එහිදී දෙපාර්ශ්වයටම ඇති චෝදනා, නිදහසට කරුණු ඉදිරිපත් කළ යුත්තේ කවියෙනි....
              මෙම අවස්ථාවට ජනාධිපති තුමා,පක්ශ විපක්ශ මන්ත්‍රී වරුන්, ජ්‍යෝතිශ්‍ය වේදීන්, මාධ්ය වේදීන් රැසක් සහභාගී විය... එම අවස්ථාවට සහභාගී වීමට මටද අවස්ථාවක් ලැබුනු අතර, සිත නිවන තැන පාඨකයන් වෙනුවෙන් මේ ගෙන එන්නේ එහි අවස්ථා කීපයකි......
( මා යන විට කවි මඩුව ආරම්භ වී සෑහෙන වේලවක් ගත වී තිබිණි )

වේදිකාවේ දෙපස පුටු දෙකක දෙදෙනා වාඩි වී සිටියී. ඇමති තුමා නැඟිට කවියක් අරඹයි.

ඇමති තුමා :- 
මානව හිමිකම් ලේකම් නව නීදන්   පිල්ලේ
කවියක් කියන්නට අවසර සුදු කෙල්ලේ
ඉඟ සුඟ සැලෙන හැටි  මගෙ ඇස් දෙක නළලේ
දැන් ආවොත් බඳිනවා අම්මා පල්ලේ

පිල්ලේ:-
සුළු වරදකට අර සමුර්ධි නිළදරුවා
ගහකට බැඳ මානව හිමිකම් කැඩුවා
වයසට ගියත් මදනය මර්වින් සිළුවා
හොඳ ගහකට  (ජනාධිපති තුමා දෙසට හැරී, ඇමතිතුමා දෙසට අත දිගු කොට ) බැඳ තියපන් මේ එළුවා

සභාවේ තදින් සිනා සහ විසිල් හඬ ඇසේ.....

ඇමති තුමා :- 
නු හිමිකම් ෆයිල් අතර කල වයසත් ගෙවුනේ
ඔපීසියල් ටුවර් වලට දින සති කල් යැවුනේ
කසාදයක් කර ගන්නට නැතිවද හිත ළඳුනේ
කේන්දරේ ගැලපේදැයි බලපන් බං ( සුමනදාස අබේගුණවර්ධන   මහතා දෙසට හැරී ) සුමනේ

පිල්ලේ :- (ළජ්ජා සහගත සිනහවකින් මුව සරසාගෙන )
බිලි පූජා වළකන්නට ආ මර්වින් සිල්වා
දැක මා හදවත ගැහෙන්නෙ ඔහු හින්දයි සිතුවා
රට දැය සුරකින්නට ආ මේ නිර්භය විරුවා
බැඳ ගන්නට මම කැමතීයී, එළිච්චියක් කීවා

( සභාවේ හූ හඬ, විසිල් සහ තදින් අත්පොලසන් නාදය ඇසේ )

ඇමති තුමා :-
පමා වැඩීයී, පමා වැඩීයී ඔබ මට මුණ ගැහුනේ
පෙර හමු වූවා නම් මම නුඹ බැඳ ගමි ලඳුනේ
ප්‍රමිතියකට කොළු පැටියෙක් හදන්න මම නැහුනේ
මතු සංසාරෙක හරි අපි බැඳගමු සිත් තොසිනේ

( දැඩි නිහඬතාවයක් සභාව තුළ රජයයි )
මොහොතකට පසු පිල්ලේ මහත්මිය නැඟිට සිටීයී.

පිල්ලේ :-
දම් පාටින් ළා සඳ බැස යනු දුටුවා
ඇසුරින් මිදී යන්නට මට සිත් නැතිවා
එනමුදු යා යුතුයි එය වළකනු බැරුවා
භවයෙන් භවේ උපදිමු අපි  ජිනීවා

..අවසාන පදයත් සමඟම හින්දි චිත්‍රපටියක මෙන් සියල්ලෝම එක විට නැඟී අත්පොළසන් දෙයි...... ඉකි බිඳින හඬ සමඟ මුසුවූ මතුවූ අත් පොළසන් නාදය අවසන් වනවාත් සමඟම ජනාධිපතිතුමා පැමින තරඟ කරුවන් දෙදෙනා මාරුවෙන් මාරුවට වැළඳ ගන්නා ලදි.
ශශී

1994 - 95 පමණ කාලයේ එවකට මා 4 ,5 වසර ශිස්‍යයෙකුව සිටියදී අප පාසලේ උදය රැස්වීමේදී ජාතික ගීතය හා පාසල් ගීය ගායනා කළා මතකය. තවද සඳුදා දිනවලදී හා ප්‍රධාන රැස්වීම් වලදී " ලෝකෙන් උතුම් රට ලංකාවයි" ගීතය ගායනා කළ බවද මතකය......
                  දීපාල් සිල්වා ගායනා කරන " මේ රටේ මිනිස්සු තනිකර කෙළින්නෙ පිස්සූ" ගීතය එදා තිබුනා නම් එවැනි විශේෂ අවස්ථාවන් අරභයා ගායනා කළයුතු නිවැරදිව ගීතය එය බව මගේ වැටහීමයි....



                   ජාතික ගීතය හා පාසල් ගීතය ගායන කිරීමෙන් පසුම මෙම ගීතය ගායනා කළ හැකි අතර, ඉන්පසු විදුහල්පති තුමා විසින් හෝ විනය බාර ටීචර් විසින්, මෙම ගීතයට අනුව අප කුඩා කළ සිටම නිවැරදි කර ගත යුතු කරුණු පිළිබඳ මොළ සේදීමකට ලක් කළ හැකිය....
            මේ කරුණ මට පසක් වූයේ ලෝකයේ ජීවත් වීමට සුදුසම රටක් ලෙස සැලකෙන රටක ජීවත් වන මා නැන්දනියක් කී කතාවක් නිසාය..දෙවන ලෝක යුද්ධයෙන් පසු අදාළ රට ගොඩ නැඟීමට සුදුසුම ක්‍රියා මාර්ගය කුමක්දැයි යන ගැටළුවේදී බලධාරීන් ගනු ලැබුවේ අපූරු ක්‍රියා මාර්ගයකි....එනම්
"ලෝකයේ අනිකුත් රටවල් වලට සපේක්ශව අප රට ඇත්තේ පහළම තැනය... අප විනාශ වී ඇත...අපි අළුතින් පටන් ගත යුතුය... ඒ සඳහා වෙහෙස වී වැඩ කළ යුතුය.... දියුණු රටවල් ආසන්නයට ඒමට වත් අප කැපවීමෙන් වැඩ කළ යුතුය"
 යන සංකල්පය රට වැසියන්ගේ මොළයට පොම්ප කරවන ලදි.... ඔවුහු තමන්ගේ දුර්වලතා හඳුනාගෙන, නිහතමානීව ඒවා පිළිගෙන රට දියුණු කිරීමට කටයුතු කළහ... අද ඒ රට ජීවත් වීමට සුදුසුම රටවල් අතරින් මුල් ස්ථාන තුනෙහි පසු වෙයි....අපේ රටේ තත්වය මෙයට සාපේක්ශව කෙසේදැයි සිතීම ඔබට බාරය.
                        පාසල් සමය අවසන් ව වැඩිවියට පත් උනු පසු ද දීපාල් සිල්වා දේශපාලනයට ඉතාම සුදුස්සකු බව කීප විටකදීම මට ප්‍රත්‍යක්ශ වී තිබේ.. නිමල් සිරිපාලද සිල්වා මහතාටත්  වඩා වැඩි බඩ ගෙඩියකින්ද, මර්වින් සිල්වා මහතාටත් වඩා වැඩි උගත්කමකින්ද, නලින්ද සිල්වා මහතාටත් වඩා වැඩි ප්‍රායෝගිය දැක්මකින්ද හෙබි දීපාල් සිල්වා මහතා දේශපාලනයට ආවොත් බාර දිය යුතු අමාත්‍යාංශය කුමක්ද යන්න මට ඇති ගැටළුවයි.....
                     වරක් මා කල්පනා කළේ ඔහුට බාර දිය යුතු ධීවර හෝ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය බවයි.....එනම් ඔහුගේ පහත සඳහන් යෝජනා සහ ආර්ථික ප්‍රතිසංස්කරණ නිසාය.

"රට වට කර සාගරයයි 
එහි සම්පත් ආකරයයි
පිටින් මාළු රටට ගේනවා ඕයි....

රට මැද තනි වෙල් යායයි
බැලුවම හරි සිරියාවයි
නැවෙන් ගෙනත් හාල් බානවා ඕයි...."

        රජයේ සේවකයන් නම් වැඩි දෙනෙක් ඔහුට ප්‍රවාහන අමාත්‍යංශය හෝ දුම්‍රිය සාමාන්‍යාධිකාරී තනතුර දෙනවාට එක හෙළා කැමති වෙනවාට සැක නැත.... 

"බලන බලන මිනිහා අතේ බැඳලා ඔරලෝසු ඇතේ
ටයිම් එකට කිසිම වැඩක් නැහැ ඕයි........"

මෙවැනි දැක්මක් සහිත පුද්ගලයෙක් ප්‍රවාහන බලධාරියෙකු වීම එක අතකින් ධීවර හෝ වැවිලි ක්ශේස්ත්‍රයට වඩා ඵලදායක බව සමහරු කියති....

            ඉහත සියළු සිතුවිලි දුරිභූත වී, දීපාල් සිල්වානන් රටේ ජනපති විය යුතු යන සිතුවිල්ල සිතට නැඟෙන්නේ ජන හද හඳුනන මානව හිතවාදී පුද්ගලයෙකු බැවිනි...ප්‍රසංග වේදීකාවේදී උහුගේ ගනුදෙණුව පොශ් පැලැන්තිය නොව මූදු රස්සාකාරුවන්, මේසන් බාස්, වඩුබාස්, කුලී කරුවන්, කම්කරුවන් යනාදී බිම් මට්ටමේ ජනතාවය.... ඔවුන් ගේ හද ගැස්ම හේ හොඳින් හඳුනයි.. 

"නැති බැරි අඟ හිඟ කම් මැද
බිය සැක ලඟ දුක් විඳ විඳ
පෙන්නයි ලෝකෙට පරකාසෙ ඕයි...."

"නිස්සා සුදුස්සා යටකොට 
පුස්සො දෙනවා වැඩ යමරෙට...
සෙතක් වෙයිද එහෙම රටකට ඕයි" 

යන්නෙන් ඔහු ප්‍රතිඥා දෙන්නේ සුදුස්සාට සුදුසු තැන දෙන බවය....
                  තවද "ආනන්ද භවන් එකට වැටී තෝසෙ ගිලිනවා" යන ගීතය හරහා තමන් ටිල්වින් සිල්වාටත් වඩා ජාතිවාදය පිටුදකින අයෙකැයි ලෝකයට ප්‍රත්‍යක්ශ කරවයි. 
                මේ සියළු සිල්වා වරුන් අභිභවා ගියද, දුමින්ද සිල්වා අභිභවවීමට තරම් ශක්තියක් දීපාල් සිල්වාට නැතැයි අයෙක්ට තර්ක කල හැකිය... නමුත් 

" පුන්සඳ පායල ඇති රෑක
ගඟ ලඟ ඇති පොඩි අතු ගේක
නැති කර ගන්නට දුක ශෝක 
හැමදාමත් කරනවා මේක..."

     යන ගීතය හරහා තමා දුමින්ද පරදන හැටි පාරම් බාන්නේ නිහතමානීවය. දුමින්දට වඩා දේශප්‍රේමීව නිර්ධන පංතියට සේවය කිරීම ඔහුගේ අරමුණය.

" සිය රට අප දේ
සිරි සැප ගෙන දේ 
ගහන අයයි මේවා දන්නේ
මත් පැන් වගෙ නෑ
වැඩි වියදම් නෑ
පොඩි මුදලයි මේකට යන්නේ....."

 මෙනයින් බලන කළ රටට සේවය කිරීම සඳහා මෙතුමාට වඩාත්ම යෝග්‍ය තනතුර වන්නේ ජනාධිපති උපදේශක තනතුරයි. ඉඳින් හොරුන්, මැරයින්, ස්ත්‍රී දූශකයින්, කුඩු කාරයින්, සට්ටෑඹියන් තුරන් වී මෙවැනි ජනතාවාදී නායකයින් අදාළ තනතුරු සඳහා පත් වේයැයි ද බලාපොරොත්තු වෙමු. 
ශශී

ඉස්සර අපි පොඩි කාලෙ අපි බලපු ටෙලි නාට්ටියි දැන් තියෙන ටෙලි නාට්ටියී බලපුවහම අහසට පොළොව වගේ..... දැන්නම් මම සාමාන්‍යයෙන් නාට්ටි බලන්නෙම නෑ...... එකම ස්ක්‍රිප්ට් එක නළු නිලියො වෙනස් කරලා වගේ මටනම් හැඟෙන්නෙ... හැබැයි ඒ කාලෙ, ඒ කියන්නෙ අපේ ළමා කාලෙ....මීට අවුරුදු 10 කට 15 කට විතර කළින් තිර ගත වෙච්චි පුදුම ලස්සන නාට්ටි ගොඩක් තිබුනා...
                      ඒ වගේම තමා ජනප්‍රිය වෙච්චි නාට්ටියක තේමා ගීතය ,නැත්නම් තේමා වාදනය නාට්ටියටත් වඩා හොඳින් අපිට මතක තියෙනවා...... උදාහරණයක් විදිහට මම අද අන්තර්ජාලයෙ සැරිසරද්දි මම කාලයක් හොය හොයා හිටපු මේ මියුසික් එක මට හම්බ උනා.....


            තව මේ වගෙම " දේවතාවන් සිතන දේවල් ", "මලක් උනේ ඇයි නුඹ මට ", "ඉටි පහනක්දෝ මා" ,අන්දර වැට තේමා ගීතය, කෝපි කඩේ තේමා වාදනය, ඉන්ගම්මාරුව තේමා වාදනය....කොච්චර කාලයක් ගියත් අමතක වෙන්නෙ නැති වෙයි...
        අපි 5, 6 වසරෙදි ගියා යුද්ධය පසුබිම් වෙච්චි කථාවක් "මානව වාරණ" ඒකෙ තේමා ගීතය උනේ " සාපයක්දෝ දෙවියන්ගේ, පාපයක්දෝ මිනිසුන්ගේ" කියන ගීතය....
         තව ඒ කාලෙ තිබුනා දුර්ගාන්තය, පිටගම්කාරයෝ, දුන්හිඳ අද්දර ,වනවදුලේ වසන්තය වගේ ලස්සන නාට්ටි.. තේමා වාදනයක් මතක නැතත් පවුලේ ඔක්කොම දෙනා එකට ඉඳගෙන රස විඳපු ලස්සන නාට්ටි...
          සුසීමා, රතු රෝස , ළා හිරු දහසක් එතකොට ඉඳි ආප්ප කථාව, නිරානන්දය . මේවට පසුබිම් උනේ ඇත්තටම පොළොවෙ පය ගහලා ඉන්න මිනිසුන්ගෙ ජීවිතේ... අද ටෙලි නාට්ටි බහුතරයකින් මටනම් පේන්නෙ පට්ට හීන ලෝක වල ජීවත් වෙන මිනිසුන්.....
                                     ආයෙත් ඒ වගේ ලස්සන නිර්මාණ එන එකක් නැද්ද?  නැත්නම් ටෙලි නාට්ටියක තියෙන ගුණාත්මක බව කාලයට සාපේක්ශද ?