ශශී

අන්තිමේ වසර දෙකකට පසු ලංකාවට යන දවස උදා විය. කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් වෙනිස් සිට කටාර් දක්වාද, කටාර් සිට කටුනායක දක්වාද පැමිණිය යුතුය. කටාර් තෙක්ම  නිදි රහිත ගමනක් එන්නට සිදු වූයේ ඉන්දියානු ජාතික ගුවන් සේවිකාවක් නිසාය. දින දෙකක් නිදි වැරීමට සිදු වීම නිසා තරමක නිදි මත ගතියක් දැනුන නමුත් මව් බිමට පය තැබීමේ ප්‍රීතිය නිසා නින්දක් නො එන බව දැන ගෙන උන්නෙමි...
            කල්පයක් තරම් වූ වෙලාවකට පසුව ඒ උත්තරීතර නිමේශය උදා විය. ගුවන් යානය බිම පතිත වනවත් සමඟම ඔල්වරසන් දෙමින් පිටවෙන දොරටු කරා පැමිණියෙමු........
අනතුරුව.......
පළමු දැක්මෙන්ම හිත උතුරා ගලා හැලෙන ප්‍රීති ප්‍රමෝදයක් නළියන්නට විය. එනම් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිළදාරීන් දැකීමෙනි. වෙන වතාවල මෙන් නොව මොවුන් මුහුණ නිරන්තරයෙන් සිනහවකින් සරසාගෙන සිටිති. ගිය වතාවේ මෙන් මැලවුනු ,නිදිමත මූණු ඔවුන්ට නොවීය. කාර්‍යක්ශම නිළදාරීන් වූ ඔවුන් දේශීය මෙන්ම විදේශීය සංචාරකයන්ගේද පැසසුමට ලක් විය... වැලිගම බලා යන ඉතාලි ජාතික සංචාරකයන් කිහිප දෙනෙකු මා සමඟ පැවසුවේ මෙතරම් සුහද ශීලී, කාර්‍යක්ශම නිළදාරීන් පිරිසක් තමන් කිසි කලෙක දැක නොමැති බවයි....ආඩම්බරය පිරුණු පපුවකින් එළියට පැමිනියෙමි....තීරු බදු රහිත කඩ සාප්පු වල සේවකයන් ඉතාම විනීතව සුහදශීලිව සිනාසෙති. වචනයක් හෝ කතා නොකරති...ඔවුන්ගේ පෙනුම ගෞරවාන්විතය. ගුවන් තොටුපොලේ හැම සේවකයෙකුගේම පපුවෙහි නම සහ තමන් කතා කරන භාශා පිළිබඳව කෙටි සටහනක් ඇත. සිංහල කතා නොකරන පුද්ගලයන්ට තමන් කිසියම් විමසීමක් කළ යුත්තේ කුමන සේවකයාගෙන්ද යන්න ගැටළුවක් නැත. සියළුව සේවකයන් සිනහවකින් මුව සරසාගෙන ඇත.
                        මා රැගෙන යාමට තාත්තා එන බව අම්මා පෙර දින පැවසුවාය. ගුවන් තොටුපොලෙන් එළියට පැමිණ තාත්තා ඇද්දැයි විමසිලිමත්ව බැලීමි. දුර ඈත කොණේ තාත්තාගෙ රුව සටහන් විය.. විගසින් මා දෙසට පැමිණ මා වැළඳගෙන තාත්තා යමු යැයි හිසින් සන් කළ විට, (තාත්තා වෙනදා මෙන් අපේ ඥාති සොහොයුරෙකුගේ වාහනයෙන් එන්නට ඇත). මම වාහනය කොහෙදැයි තාත්තාගෙන් විමසුවෙමි. "පුතේ මම අද ආවෙ පාරෙ බස් එකේ" 

 අධික විඩාව නිසා බසයක ගමන්  කළ නොහැකි තත්වයක සිටි මගේ ඔරොප්පු මුහුණ තාත්තා දකින්නට ඇත. තරහින් මා දෙසට හැරුණු තාත්තා " උඹ ඒරොප්පෙ ඉඳලා ආවට කමක් නෑ පුතෝ.. හැබැයි අපේ දේවල් වලට ඔච වඩෝනවා හෙම නෙමේ... එළියට ගිහින් බලපන්කො දැන් මෙව්වයෙ තියෙන ඒවා"

හෙමින් හෙමින් බස් නැවතුම් පොළට පිය මැන්නෙමු. අප මෙන් සෑහෙන පිරිසක්ද, විදේශීය සංචාරයන් කිහිප දෙනෙක්ද එහි විය..
බසය එන වෙලාව ලෙස පෙරවරු 9.45 සටහන් වී තිබිනි....තත්පරයක් හෝ අප්‍රමාදව බස් රිය එහි පැමිණියේය. පුදුමයකි. නවතම වර්ගයේ බස් රථයක් වූ මෙහි මැදින් සොකට්ටුවක් ඇත. බස් රථ දෙකක් එකට අමුණා ඇති සෙයක් දිස් වෙයි. බස් රථයට ගොඩවන්නට ඇත්තේ ඉදිපස දොරටුව සහ පසු පස දොරටු දෙක පමණය. බැසීමට භාවිතා කරන්නේ මැද දොරවල් දෙකය. 

තාත්තා සාකුවෙන් ගත් කාර්ඩ් පත් දෙකක් එහි ඇති විදුලි උපකරණයට ළං කල විට කොළ පාට බල්බයක් දැල්විණි.විස්තරය තාත්තා මට පහදන්නට විය. " දැන් ටිකට් තමයි මේ. මේවා ගන්න ඕනෙ කඩවල් වලින්. කොන්දොස්තරලා දැන් නෑ බස් වල. මේ ලංගම බස් එකක්.. දොරවල් හතරටම කැමරා හයි කරලා තියෙන්නෙ.. ඩ්‍රයිවර් කැමරාවලින් බලලා තමා දොරවල් වහලා එහෙම යන්න පටන් ගන්නෙ. කට්ටියම ටිකට් ගැහුවද කියලා ඩ්‍රයිවර් ට පේනවා කැමරා වලින්"
                                හිමින් සැරේ අවට සිසාරා බැලුවෙමි. ගුවන් තොටුපොළ සඳහා භාවිත කෙරෙන බස් රථ වල ගමන් මළු බහා ලීම පිණිස වෙනම රාක්ක තනා ඇත. බසය සම්පූර්ණයෙන් වායුසමීකරණය කර ඇත. රියදුරු තැන වෙතට හෙමින් කිට්ටු කළෙමි... නිල් පාට කමිසයකින් සැරසී, ටයි පටියක් පැළඳ, ලංගම ලාංචනය පපුවේ පැළඳ, සංග්ලාස් ද පැළඳගෙන ඇත. ඔහුටම වෙන් වූ කුටියක් පරිද්දෙන් ඔහුගේ ආසනය දොරකින් ආවරණය කර ඇත... රියදුරු තැන සමඟ කතා කිරීම සම්පූර්ණයෙන් තහනම් යැයි සඳහන් දැන්වීමක් සිංහල, දෙමළ, ඉංග්‍රීසි, ඉතාලි, ප්‍රංශ සහ ජර්මන් වලින් අලවා ඇත.
                           වෙනදා පැයෙන් යන ගමන අද විනාඩි 30 න් යාමට හැකි ය. අතර මඟ බස් බොහොමයක් මේ වර්ගයේ බස්ය.. ලංගම බස් සුදු පැහැයෙනුත්, පෞද්ගලික බස් නිල් පැහැයෙනුත් වර්ණ ගන්වා තිබිණි. බසය නවත්වන්නේ අදාල නැවතුම් පොළවල්වල පමණය. පිටත් වන්නේ සියළු දෙනාම ගොඩ වී දොර හතරම  වසා ඇත්නම් පමණි. මාර්ග වල තත්වයද බෙහෙවින් වෙනස්ය. මෙවැනි බර වාහන යා යුත්තේ පාරේ වම් කෙළවරේය.. බර  අඩු වාහන දෙවෙනි තීරුවේ ගමන් කරයි. මාර්ගය දෙකට බෙදෙන පරිදි යකට වැටක් තනා ඇති අතර එහි නිශ්චිත දුර ප්‍රමාණකින් දුර ප්‍රමාණයකට දැවැන්ත කොහොඹ ගස් සිටුවා ඇත. කිසිවෙකුටත් පාර හරහා ගමන්  කළ නොහැකිය... එක දිසාවකට මන් තීරු දෙකකි. පාරවල් දෙපසත් යකඩ වැටවල් සිටුවා ඇත්තේ පයින් ගමන් කරන්නන් හට සහ බයිසිකල් කරුවන් හට මහා මාර්ගයට පැමිණිය හැකි නොවෙන පරිද්දෙනි.  ඔවුන් සඳහා වෙනම මන් තීරුවක් යකඩ වැටට එපිටින් තනවා ඇත.. ඊටත් එපිටින් ඇත්තේ එක පෙළට සිටවූ ගස් පෙළකි...එළියට බැසීමට අවකාශ නොලැබුනත් මේ ක්‍රමවත් නගර සැලසුම නිසා අධික රස්නය බෙහෙවින් අඩු වී ඇති බවක් දිස් වෙයි....මා යුරෝපයේ සිටියදී නිතරම අසන්නට ලැබුණු අපේ පුංචි රටේ සංවර්ධනය හිතට මහත් අස්වැසිල්ලක් විය. මා සතුටු වූ ප්‍රධානම කරුණ නම් මාර්ග වල කිසිම හෝර්න් හඬක් නොඇසෙන්නට වීමය. ත්‍රීවීල් කරුවන්ද, මෝටර් සයිකලද නිහඬව, දෙවෙනි මං තීරුවේ ගමන් කරයි. 
තුටු සිතින් නිවසට පැමිණියෙමි...... 
                 පසු දිනම යහළුවෙක් සමඟ නගරයට ගමන් කිරීම මගේ අරමුණ විය. ඒ  රටේ සංවර්ධනය සියැසින් ම දැක බලා ගැනීමටයි.... පාරවල්ද ඉතා පිරිසිදුය. සිගරට් කොට , බුළත් කෙළ නැත...නිශ්චිත දුර ප්‍රමාණයකින් දුර ප්‍රමාණයකට කුණු කසල බැහර කරලීම පිණිස විශල භාජන තනා ඇත.... ඒවායේ කුණු දැමිය යුත්තේ ප්ලාස්ටික් , කඩදාසි. සහ වෙනත් අපද්‍රව්ය ලෙස වෙන වෙනමය. පසුව ඒවා ප්‍රතිචක්‍රීකරණය සඳහා ගෙන යයි.  මහපාරේ ඇවිද යමින් සිටියදී පාරේ විරුද්ධ පැත්තේ සිටි පාසැල් මිතුරෙක් දුටුවෙමි... කලකින් දකින්නට ලැබූන් මිතුරා ගැන ලබැඳි දයාවෙන් මා ක්ශණයෙන් පාර හරහා පැන්නෙමි...එසැණින් 1600 cc පොලිස් මෝටර් සයිකලයක් මා අසළ නැවතුනි. ප්‍රසන්න පෙනුමකින් යුත් පොලිස් නිළදාරීන්ගේ මුහුණෙහි මනා පෞරුශත්වයක් ඇත. පරණ කාකි නිළ ඇඳුම වෙනුවට සුදු සහ නිල් පැහැයෙන් යුත් නිළ ඇඳුමක් ඇඟලා ගෙන සිටිති. බූට් පැළඳ ඇත. හිසට යුද හමුදාව පළඳින බෙරස් වර්ගයේ තොප්පි දමා අව් කණ්ණාඩි පැළඳ ඇත. රැවුල් මනාව කපා ඇත. බඩ නැත. කොන්ද කෙළින්ය. වැරදි තැනකින් පාර මාරු වූ මට 1000 ක දඩ කොළයක් දී තැපැල් කන්තෝරුවට ගෙවන ලෙස අණ කර සුහද සිනහවකින් සංග්‍රහ කර යන්නට හැරුණි. දඩ මුදල ගෙවීමට තැපැල් කන්තෝරුව තුළට පැමිණි මා පුදුමයට පත් කරමින් එහිද වෙනස්කම් රාශියක් සිදුවී තිබිණි. මෙහි ඇතුළු වන දොරටුව අසළම ඩිස්ප්ලේ එකක් ඇත. එහි විවිද කාර්යයන් සඳහා  A,B,C,D,යනුවෙන් කොටස් හතරකට බෙදා තිබිණි. 

A= බිලපත්, දඩ මුදල් ගෙවීම
B= ලියාපදිංචි ලියුම්/ පාර්සල්
C= කූරියර් සේවා
D=සාමාන්‍ය තැපැල් සේවා.

 මම  A අකුර සහිත බොත්තම ඔබා අදාළ අංකයක් ලබා ගතිමි. තමන්ගේ වාරය එනතෙක් වාඩි වී සිටීමට පාරිභෝගිකයන්ට පුටු තබා ඇත. සඟර , පුවත්පත් පසෙකින් තබා ඇත. බොහොමයක් දෙනා එක්කෝ පොතක් කියවති. නැත්නම් පුවත්පත් බලති. මිනිසුන්ද වෙනදාට වඩා වෙනස් වී ඇති සෙයක් හැඟෙයි.. ගැහැණුන් මහත නැත. පිරිමින්ගේ බඩ නැත. කහින්නේ, හොටු සූරනේද නැත. පෝලිම් පනින්නේ නැත.... ආචාර ශීලීය. කලක පටන් නිවැරදි ක්‍රමවේදයන්ට හුරුවූ මිනිස් කොට්ඨාශයක් පරිද්දෙන් ඔවුන් මට දිස් වෙයි..
     තැපැල් කන්තෝරුව තුළ සේවකයන් කිහිප දෙනෙක් කාර්යක්ශමව වැඩෙහි  යෙදී සිටිති. කවුන්ටර 6 ක් ඇත. මඳ වෙලාවකට පසුව  මගේ අංකය කවුන්ටර් අංක 5 හේ සටහන්  විය. එහි සිටි තරුණිය මුව පුරා සුනහවකින් මා පිලිගෙන අදාළ කාරනාවෙහි යුහුසුළුව යෙදෙන්නට විය. එය නිම වී මා ආපසු ඒමට හැරෙනවාත් සමඟම "සුබ දවසක්" යනුවෙන් ආචාර ද කලාය.
                                පාරේ මඳ දුරක් ඇවිදගෙන එද්දී පාරේ අලුත්වැඩියාවක නියුතු සේවකයෙක් දුටුවෙමු. රේඩියම් සහිත නිළ ඇඳුමක් පැළඳ, විශාල ප්‍රමාණයේ හෙඩ් ෆෝන් දමා, හෙල්මට් පැළඳ අදාළ ස්ථානය වර්ග අඩි 25 ක පමණ ප්‍රමානයකින් වට කොට ඔහු තම වැඩෙහි යෙදී සිටීයී....මෙය පාරේ ඇති වූ කුඩා ඉරිතැල්මක් අලුත්වැඩියා කරන අයුරු යැයි ද, දියුණු රටවල මෙන් දැන් මෙහිදීත් කුඩා වැඩකදි වුවත් අරක්ශාව පිළිබඳ ප්‍රථමයෙන් සළකිලිමත් වෙන බවද මගේ මිතුරා පැවසීය. ඔහු අසළම සිටි ටයි පැළඳ ගත්, සේවකයා සමඟ කුළුපගව සිනාසෙන වැදගත් පෙනුමකින් යුත් මහතෙකු මගේ අවධානයට ලක් විය..මගේ හැඟීම් තේරුම් ගත් මිතුරා ඒ " ප්‍රාදේශීය සභා සභාපති බවත්, දහවල් විවේකයේ මෙය නිරීක්ශණය කිරීමට පැමිණ ඇති බවත් කීවේය.
අවසානයේ මිතුරා ගෙන් සමුගත් මා නිවෙස වෙත පැමිණියෙමි.. හෙට දිනයේද ටවුමට යාමට මට අවශ්‍ය බවත් පාන්දරින්ම මා අවදි කරන ලෙසත් නිදි ඇඳේ සිටම අම්මාට කීවෙමි. ඒ නැවතත් යුරෝපයට යාමට තිබුණු ටිකට් පත අවලංගු කිරීමටය. මෙහි සිදු වූ වෙනස් කම් සහ සංවර්ධනය නිසා මම දිගටම ලංකාවේම නවතින බවත්, මා බලාපොරොත්තුවෙන් සිටි සංචාරක කර්මාන්තයේ , මගේ සුදුසුකම් වලට අනුව රැකියාවක් කරන බවත් අසා සිටි අම්මා හෙමින් කඳුළු පිසලන්නට විය. අම්මාට අනුව සුදුස්සාට සුදුසු තැන දෙන මෙවන් රටක් අහළ ගම් හතකවත් නැත. මා ගත් තීරණය හිස අතගා ස්ථීර කළ අම්මා අවසානයේ 
" සර් කැන් යූ ප්ලීස් ටේක් යුව සීට් ඉන් කරෙක්ට් පොසිශන්. වී ආ රෙඩි ටු ලෑන්ඩින්" 
යනුවෙන් කීවාය.




7 Responses
  1. hare :-) Says:

    අපිට හැමදාම ඔය වගේ හීනෙන් විතරක් ආශ්චර්යය බල බල ඉන්න වෙයි බං!


  2. හික්ස්...........


  3. හික් හික් බරපතල හීනයක් නෙව...


  4. ItalyDilan Says:

    මත්තලටද කටුනායකටද බැස්සේ බන්


  5. යකෝ මේක දියුණු රටක්.. දේශ මාමකත්වයෙන් උතුරන රටක්!


  6. කසුන් Says:

    සංවර්ධනය කොරනව කිය කිය මුකුත් නොකරන එකට හිනාවෙන්න ඕනැ තමයි බන්.ඒත් ඔහොව් සංවර්ධනයක් ගන්න ගියොත් අපිට අපේ ලංකාව නැති වෙනවා.සංවර්ධනයට වඩා උඹලාට අපිට තියෙන ලංකාවෙ සංස්කෘතිය වටිනවා බන්.


  7. Hasitha Says:

    හීනයක් නිසාම හොඳා ඉතින් :P


Post a Comment