ශශී


ජේසු තුමාගෙ ගෝලයො දෙළොස් දෙනා ගෙන් එයාව පාවල දීපු ගෝල බාලයා තමා ජුදාස් කියන්නෙ. ජේසු තුමා ව අත් අඩංගුවට ගන්න මාන බල බල හිටපු අධිරාජ්‍යවාදීන්ට වැටහෙනවා ජේසුගෙ ළඟම අනුගාමිකයෙක්ව බිලි බාගන්නෙ නැතුව මේ වැඩේ කරන්න හම්බෙන්නෙ නෑ කියලා. රිදී කාසි 30 ක ඇමක් දීල බිලි බාගන්නෙ පසු පෙළ ගෝලයෙක් වෙච්චි ජුදාස් ව. හරි කථාවෙ අවසානය තමා ජුදාස් ගෙ මාර්ගයෙන් ජේසුව අත් අඩංගුවට ගන්න සතුරු පාර්ශ්වයට ඉඩ ලැබීම. ඊට පස්සෙ ජේසු තුමා මරණයට පත් කිරීම.   මේ මරණයට වග කියන්න ඕනෙ ජුදාස්. ජුදාස් ව හංවඩු ගැහෙනවා කතෝලික සභාව ඇතුලෙදි. කොටින්ම එදා පටන් ම අද දක්වාම පාවල දීමක් කරන මිනිහෙක්ට දෙන සර්ව නාමය විදිහට "ජුදාස්" කියන නම භාවිතා කරනවා. ඒ විතරක් නෙමේ ජුදාස් ගෙ චරිතය ඉතිහාසයෙන් මකල දානවා. එදා පටන් අද දක්වාම අනිත් ගෝලයන් එකොලොස් දෙනා වෙනුවෙන් පල්ලි හැදෙද්දි, ඒ ගෝලයින්ගෙ නම් මිනිස්සුන්ට නම් තියන්න යොදා ගද්දි ජුදාස් කියන නම හිතා මතාම අයින් කරනවා. ඒත් ජේසු තුමා පාවල දෙන්න කලින් මේ ජුදාස්, ජේසු තුමා ළඟින්ම ඉඳගෙන එයාට පැවරුණු කාර්‍යයන් ඉශ්ට සිද්ධ කරපු අනිත් ගෝලයො වගේම මනුස්සයෙක්.          හරි රස්සාවෙන් ධීවරයො උනු මේ මනුස්සයින්ට අඟ හිඟ කම් නම් ඇති පදමට තියෙන්නෙ ඇති. ඉතින් අත මිට හිඟ කම හිංඳම මුහුදු රස්සා යාමෙන් විතරක් ජීවිතේ ගැට ගහ ගන්න බැරුව උන්නු ජුදාස් මේ ගැටේට අහු වෙනවා.  රිදී කාසි තිහ අරන් ජුදාස් මොකද කළේ. ඒකෙන් හොඳ ඉඩමක් මිළදී ගත්තා.සමහර විට තමන්ගෙ දුවගෙ දෑවද්දට දෙන්න එහෙමත් නැත්නම් පුතෙක් ගෙ ඉගෙනීමට වියදම් කරන්න වෙන්න ඇති. ඒත් මේ තමන් ලොකු වරදක් කළේ කියල තේරුම් අරගෙන ජුදාස් ගොඩාක් දුක් වෙනවා. ඒ දේ කොච්චර හිතට වද දෙනවද කියනවනම් මිනිහා තමන් ගත්තු ඉඩමෙම එල්ලිලා මැරෙනවා.      පොඩි කාලෙ උපදේසෙ පන්තියෙ ටීචර්, ජුදාස් ජේසුව පාවල දුන්නු හැටි උගන්නන්ද්දි ජුදාස්ට තුහ් නොදකින් කිව්ව මම තව ටිකක් ලොකු වෙලා මේ සංසිද්ධිය කියවද්දි හිතේ ඇති කර ගන්නෙ වීරත්වයක්. ජුදාස් කියන්නෙ වීරයෙක්. වැරදි කා අතිනුත් වෙන්න පුළුවන්. ඒත් තමන් කරපු වැරැද්දට පසුතැවිලි වෙලා ජීවිතේ නසා ගන්න එක.  පපුව පැලිල මැරෙන්න තරම් ඒ වැරැද්ද පපුවට ගත්තු ජුදාස් අහිංසක වීරයෙක්.           
                          තවත් දෙයක්. ජේසු තුමා ව අත් අඩංගුවට ගත්තු වෙලාව ඒ සතුරු පාර්ශ්වයෙ හිටපු ගැහැණියක් ජේසුගෙ ප්‍රධානම ගෝලය උනු පේදුරු ව අඳුන ගන්නවා. ඒ කාන්තාව කියනවා මෙයත් ජේසුස් එක්කලා එකට හිටියා කියලා. පේදුරු කියනවා "නෑ" කියල. තුන් පාරක්ම පේදුරු කියනවා මම ජේසුස් ව අඳුනන්නෙ නෑ කියලා. ජේසුගෙ මරණයෙන් පස්සෙ සභාව ගොඩ නඟන්නෙ පේදුරු මත. "පේදුරු නම් ලත් පර්වතය මෙන්න. මෙය පිට මගේ සභාව ගොඩ නඟන්නෙමි" ජේසු තුමා එක තැනක ප්‍රකාශ කලා. එහෙව් පේදුරුත් අන්තිමට ජේසු තුමා ව අඳුනන්නෙ නෑ කියනවා. ඒත් පේදුරු නමින් පසුව බැසිලිකා, දේවස්ථාන ගොඩ නඟනවා. පේදුරුගෙ නම මිනිස්සුන්ට නම් තියද්දි පාවිච්චි කරනවා. ඒත් පේදුරු තමන් මේ කලේ වරදක් බව දැනගෙන පසුතැවිලි වෙලා කලේ අඬපු එක.     
                                            අද කාලෙ  ලක්ශ 30 ක් දෙනවා කිව්වොත් (උඹලටවත්, මටවත් නෙමේ )  මුහුදු රස්සා කාරයෙකුට, කුලී වැඩ කරන කෙනෙකුට, කොහු බත් වේලෙන කෙනෙකුට, අව් කාශ්ඨකේ සිමෙන්ති අනන මිනිහෙක්ට. ඒ මනුස්සයො තමන්ගෙ ආගම උනත් අත ඇරල යන්න ලැහැස්ති වෙයි නේ. ඒකනෙ ඔය බලෙන් ආගම් වලට බඳව ගන්නවා කියල  ගොඩාක් අය කෑ ගහන්නෙ. සල්ලි වලට දුප්පත් මිනිහෙක් තමන්ගෙ ආගම වෙනස් කළහම. මොකද ආගමෙන් කන්න බොන්න දෙන්නෙ නැහැනෙ. අත්තානම් උපමං කත්වා කියලා බුදු හාමුදුරුවො දේශණා  කරලා තියෙන්නෙ,(තමාට උපමා කොට හිතන්න )  අපිටත් පුළුවන්ද ඒ මිනිස්සුන්ට උපමා කරල හිතන්න?    එහෙම බැලුවහම අපි ඔක්කොමලා ජුදාස් ලා. අපි ඔක්කොමලා පේදුරුලා. හැබැයි ඉන්න සමාජ තත්වය ඉහලයි නම් අපේ වැරදි වලින් අපිට නිදහස් වෙන්න ලේසියී. හැබෑයි අපි ඉන්නෙ පහළ සමජ මට්ටමක නම් , දුප්පත් නම් සමාජයෙන් ඒ වැරැද්ද වහන්න හම්බෙන්නෙ නෑ...... ජේසුව අඳුනන්නෙ නෑ කියලා පස්සෙ  ඒ වැරැද්ද තෙරුම් අරගෙන අඬපු පේදුරුට වඩා, තමන් කරපු වැරැද්දට පසුතැවිලි වෙලා එල්ලිලා මැරුණු ජුදාස් මට සුද්දවන්තයෙක් වෙන්නෙ අන්න ඒකයි.

8 Responses
  1. mama kamathi a kathawata. ekkean puluwan short play ekkak karanna.


  2. ItalyDilan Says:

    ජුදාස්ව අලුත් පැත්තකින්,, ඔව් එක අතකට අදත් පේදුරුලා,ජුදාස්ලා එන්න තමා අපි ජීවත් වෙන්නේ ජීවත් වෙන්න වෙන්නෙත්


  3. හරී Says:

    හිතන්න යමක්..

    " එහෙම බැලුවහම අපි ඔක්කොමලා ජුදාස් ලා. අපි ඔක්කොමලා පේදුරුලා" යම් අවස්ථාවක දේවදූතයෙක් වෙච්ච මිනිහෙක් තව අවස්තාවක යකෙක් වෙන්නත් පුලුවන්..


  4. Anonymous Says:

    මම පොඩි කාලේ මේ වගේ කතා ගොඩක් අහල තියනවා.මොකද මමත් කතෝලික පාසලකින් උගත් නිසා :)මේ වගේ යහපත් දේ හැමතැනම ලියවෙනවනම් කොච්චර හොඳද.....



  5. Anonymous Says:


    මම ඇත්තටම අද තමයි ඔබගෙ ලිපි කියවන්න ගත්තෙ. ඉතාම වැදගත් නිහතමානී ආකල්ප ඔබගේ ලිපිවලින් දැකගන්න පුලුවන්. පොඩි නිවැරදි කිරීමක් කෙරුවට තරහ වෙන්න එපා. ජුදාස් කියන්නෙ නරක කෙනෙක් නෙවෙයි ජේසු එයාගැන ඇත්තටම දුක් වෙනව, හැබැයි එයා ජේසුව පාවලදීපු එක ගැන නෙවෙයි, ඒක සැලැස්මෙම කොටසක් විතරයි, එයා කරපු වැරැද්ද තමා ජේසු තමන්ට සමාව දෙනව කියන එක පිලිගත්තු නැති එක, ඔච්චර ලගින් ඉදලත් ඔච්චර ජේසුම කියලත්, පාවලදීපු වෙලාවෙත් එයාව තුරුල් කරගෙන සිපවැලද ගත්තත් එයාට තේරුම් ගන්න බැරිව ගියා ජේසු එයාට ආදරෙයි ජේසු එයාට සමාව දුන්නයි කියන එක, ඒකට හේතුව එයා ජේසුගෙ සමාවට වඩා පාප සිතුවිල්ල සහ ඒතුලුන් එයා තුලට අතුල්වුන නරක සිතුවිලි වලට ඉඩදීම. එයා ජීවිතය විනාස නොකරගෙන සමාව පිලිගත්තනම් පේදුරු තුමාට වඩා ඉදිරියට යන්න එයාට තිබුන කියලයි මට හිතෙන්නෙ. පොඩ්ඩක් මම කියනවට පාවුලු තුමා ගැන හොයල බලන්න එයාට වඩා කොච්චර හොද මිනිහෙක්ද ජුදාස් කියල ඔයාට තේරෙයි, හැබැයි ජේසුගෙ ආදරය දැනුනට පස්සෙ, ඒ ආදරය තේරුම්ගත්තට පස්සෙ මොකද පාවුලු තුමාට උනේ කියල බලන්න?
    ඕනම කෙනෙක් පලමුවෙන්ම කරන්න ඕන දේ තමයි, තමන්ගෙ පාපයට සමාව ලැබෙන බව තේරුම් අරගෙන තමාට සමාව දෙන එක. ඉතින් ජුදාස් වීරයෙක් නොවෙන්නෙ, විනාශවෙන්නෙ අන්න ඒනිසයි. අපිට පොඩිකාලෙ ඉදල උගන්නන්නෙ මෙහෙම නෙවෙයි නෙ නේද, ඒකයි අපි වැරදි වැටහීම්වල ඉන්නෙ, ජුදාස්ට සාප කරන්නෙ, ඒත් ජේසු බලන්න කොච්චර ජුදාස් ගැන දුක්වෙනවද? අපිත් කරන්න ඕනෙ ඒකයි සාප කරන එක නෙවෙයි. පේදුරු තුමාගෙත් ගොඩක් අඩුපාඩු තිබුන බලන්න පාවුලු තුමා ජේසු ලෝකෙටම අයිතියි කියද්දි එයා ජුදාජාතිකයින්ට විතරයි කියල කිව්ව ඒත් එක තැනකදි එයාල දෙන්නම එකඟ වෙනව, ඒතමයි ආදරය ජේසු තුමන්ගෙ ආදරය. මමත් කතෝලික සභාවට සාප කරපු කාලයක් තිබුන මොකද මට ඉස්සර එකග වෙන්න බැරිව ගියා පල්ලිය විසින් කරන දේ වල් එක්ක. ඒත් කාලයක් යද්දි තමා තේරුනේ මේ සේරම සභාවල්, පල්ලි , එක එක කන්ඩායම් සේරම එකම වාද්‍ය වෘන්දයක කොටස්කාරයො කියල. එතකොට තමා මට තේරුනේ පේදුරු තුමාවත් පාවුලුතුමා වාගෙම ඉතාම වැදගත් කියල.


  6. ශශී Says:

    වටිනා අදහස් එකතු කළ සියළු දෙනාට තුති.


  7. anilbatepola Says:

    ඔබේ ලිපිය හොදයි අර්ථවත් එහෙත් එක දෙයක් වැරදි ඒකට ඔබ වැරදි කරු නෙවෙයි මොකද කථෝලික ආගමෙ උගන්වන්නේ මෙහෙම තමයි.
    පේතෘස් කියන්නේ ග්‍රීක් බසින් ගලටයි එබැවින් සභාව ගොඩ නැගුනේ ක්‍රිස්තූස් මතය පේදුරු එහි ගලක් පමණය එහි කොනේ ගල ජේසුස්ය.


Post a Comment