Sep
13
සතියකට සැරයක් විතර තමා මට මෙහෙ ඉඳන් ලංකාවෙ ගෙදරට කථා කරන්න හම්බෙන්නෙ. ගෙදර ඉන්ටර්නෙට් නැති හින්ද ටෙලිෆෝන් එකෙන් තමා කථා කරන්න වෙන්නෙ. ගොඩාක් වෙලාවට කථා කරන්නෙ අම්මා එක්ක විතරයි. එහෙම බැලුවහම තාත්තා එක්ක කථා කරන්න හම්බෙන්නෙ ගොඩාක් කලතුරකින්. එකක් තාත්තා වැඩ ඉවර වෙලා රෑ ගෙදර එන හිංදා... අනිත් එක ඉතින් පිරිමි ළමයින්ට, වැඩිය තාත්තලත් එක්ක කතා කරන්න දේවල් නැහැලුනෙ .. අම්මලත් එක්ක කථා කරන දේවල්ලු නෙ තියෙන්නෙ. කොහොම හරි අම්මයි, තාත්තයි, නංගීයී තුන් දෙනාටම එක වෙලාවට කථා කරන්න වෙලාවක් හදා ගන්න එක ගොඩාක් අමාරු වැඩක්. ඉරිදට ඒ කට්ටියම ගෙදර හිටියත්, මම ඉරිද මෙහෙ වැඩ හිංද එදාටත් බෑ.
ඉතින් ඊයෙ පෙරේදා දවසක කතා කළාම තුන් දෙනාම ගෙදර. හොඳට කථා කරන්න හම්බුනා. අම්මත් එක්ක මුලින්ම කථා කර කර ඉද්දි, ඈතින් මට ඇහුන තාත්ත ඉස්සර වගේම හයියෙන් සිංදුවක කෑල්ලක් කිය කිය හිටියා. මෙහෙටත් මොර සූරන වැස්ස. හරියටම මේ වගේ, ලංකාවෙ වහිද්දි අපි ඉස්සර බාගෙට හදල තිබුනු ගෙදර, තිබිච්චි එකම කාමරේට තාත්තා ගාව ගුලි වෙලා, තාත්තා සින්දු කියනවා අහගෙන ඉන්නවා.. ඒ එක්දහස් නවසීය අනූ ගණන් වල මුල් හරියෙ. සමහර දවස් වලට උණු තේ ත් එක්ක අම්මා හැලප එහෙම හදලා තියෙනවා. වැස්ස එක්ක පළාතම කළු කරල ඇඟේ හිරි ගඩු පිපිලා එහෙම එද්දි තාත්තා සිංදු පටන් ගන්නවා.
" දුර ඈත දේශෙන්
මෙහි ආ දිනේදී
මට දී නවාතැන්
මේ පුංචි කුටියේ.....
මට පෑ ඔබේ ආදරේ.....
නොමැකී තියේ මා හදේ ........"
ඔය සිංදුව කිය කිය තාත්තා නංගිව හුරතල් කරනවා. එතකොට නංගිට අවුරුදු 3 ක් 4ක් ඇති. මටත් අවුරුදු 8 ක් 9 ක් ඇති..
අදටත් මට මේ සිංදුව කට පාඩම් විතරක් නෙවේ. පස්සෙ කාලෙක මේ සිංදුව තියෙන කැසට් පීස් එක පවා ගෙදර ගෙනත් තියාගෙන ඇහුවා මම. අදටත් තනියම ඉද්දි මම ගොඩාක් රස විඳින සිංදුවක්.
ඒ එක්කම තාත්තා හැම තිස්සෙම කියන සිංදුවක් තමා
"සඳ කිඳුරු කිඳුරියන්"
කියන සිංදුව. ඒ කාලෙ මාර ජනප්‍රියයි. කොලඹ ඩී අයි ජී තුමා කොල්ලා කාලෙ කියපු සිංදුවක්නෙ.
ඒ වගේ පරණ සිංදු වලින් තව
"එක යායට මල් පීදුනු බිම් තීරේ
පාර දිගේ කණින් කණට
කොඳුර කොඳුර ඔබයි මමයි විතරයි හිටියේ...."
සිංදුවට තාත්තා ගොඩාක් කැමතීයී. තාත්තා ගොඩාක් වෙලාවට ඒකත් ලස්සනට කියනවා ඉස්සර.
දවස් දෙකක් විතර තිස්සෙ හොඳට වහිනවා. රස්නෙත් අඩු වෙලා. වටේ පිටේත් කළුවරයි. මෙන්න මේ වගේ වෙලාවට ඇඳ ට වෙලා ඇස් දෙකත් පියාගෙන ඒ ගෙවුණු අතීතයේ සොඳුරු නිමේශයන් සිහි කරනවා තරම් රසයක් තවත් නෑ.