ශශී

මැච් යන අස්සෙ මතක් උනේ බං අපි කාලෙකට කලින් ගත්තු ආතල් එකක්... ඔන්න එව්වනෙ ආතල්. ඒ මීට අවුරුදු 2,3 කලින් කියපල්ලකො... ෆයිනල් මැච් එකක් . තිබ්බෙ එංගලන්තෙ... හෙන ගේමක් දීල ෆයිනල් ආවෙ අපියි ඉන්දියාවයි.... මං හිතන්නෙ ලොකු කප් එකක් ටීම් 7, 8 ක් ගහපු. ඉතාලියෙ ඉන්න අපේ යාළුවො සෙට් එකක් ගියා එංගලන්තෙට ෆයිනල් එක බලන්න... මාර සෙනඟ.. ඉන්දියන් කාරයො වැහි වැහැලා.....අපේ උනුත් හොඳට හිටියා.. ඔන්න දැන් මැච් එක යනවා. අපේ උන් තමා මුලින්ම ගැහුවෙ.... මැච් එක එහෙටත් නෑ මෙහෙටත් නෑ.... ඒ අතරෙ මචං නිකන් කොටි වගේ සෙට් එකකුත් හිටියා හැබැයි කොඩි නම් එළියට ගත්තෙ නෑ.. මොකද තාම මැච් එක දිනන්නෙ කවුද කියලා නිනව්වක් නෑනෙ. අපිත් ඇහැ ගහගෙන හිටියෙ. දැන් අන්තිම ඕවර් ටික යන්නෙ ... මාර උණුසුම් ගේම. පපුවෙ අමාරු කාරයෙක් හිටියා නම් එතනම තොළොංචි වෙනවා. කොහොම කොහොම හරි බං අන්තිම ඕවරේට ලකුණු 8 ක් උන්ට ඕනෙ උනා. එක විකට් එකයි තිබ්බෙ.... දැන් දෙන්න කොට කොට ඉන්නවා.... මචන් දැන් අන්තිම බෝල් තුන. තුනට හතරයි ..... දැම්ම ඊළඟ බෝලෙ.... අරූ ඉස්සරහට පැනල ඇරල දැම්මා බං උඩින්ම අපි හිතුවෙම 6ක් කියලා .....අපේ එකෙක් 6 සීමාව ඔන්න මෙන්න තියෙද්දි ඇල්ලුවා බං කැච් එක.
අපි හූ තියලා නටලා පිස්සු කෙළලා...මාර පන් එකක් ගත්ත ඩෝ. කොටින්ම කෝලියා අවුට් වෙච්චි වෙලේ තියපු හූ කන්දරාව ඇහුනනම් ඒකා පොළොවෙ පස් කනවා. කොඩි ටිකත් කරේ දාගෙන අපි ගියා එක්සිට් ඩෝර් එක ගාවට. මොකද කොහෙන් ගියත් ගල්කන්ද හන්දියෙන් යන්න එපෑ වගේ ඕන එකෙක් යන්න ඕනෙ මේ දොරෙන්නෙ. අපි රැකගෙන හිටියා කොටි ටික එනකන්.. උන් මැච් එක වෙලාවෙත් අපිට රව රව හිටියෙ. එකා දෙන්න එද්දි අපිත් ඈතට ගිහින් (අපෙත් හිටියා සෙට් එකේ බර ගානක් ) බලගෙන හිටිය නැකත එනකන්... බියර් එහෙම ටිකක් වැඩියෙන් බීල සූර් වෙලා තිබ්බ ප්‍රදියා සිකරට් බොන්න ගෙනාපු ලයිටරෙත් අතට අරගෙන උන් දිහාට දිව්වෙ අළුගුත්තේරු හු*** පු*** තොපිට හොඳ පාඩමක් උගන්නන්නම් කියාගෙනම.. දුවලා ගිහින් එකෙක්ගෙ අතින් කොඩි හතරක් පහක් ඇදලා අරගෙන මූ එක සීරුවටම කොඩි ඔක්කොටම ගිනි තිබ්බෙ නැතැයි...
එට පස්සෙ බං කොළ පාට ලේසර් ජැකට් දා ගත්තු එංගලන්ත පොළිස්කරයො ඇවිත් වළිය එහෙම බේරලා දෙගොල්ලන්ව දෙපැත්තට යැව්වා... අපි කොහොම ගැහිල්ලක් උන්ට ගැහුවද කියනවනම් උන් ව අහකට එක්කගෙන ගියේ පොලිස් ආරක්ශවෙන් අපෙ හූ හඬ මැද්දෙ.
හෙන ආතල් බං. අපි ගියා ඊට පස්සෙ වාහන පාර්ක් එක ගාවට. BMW, AUDI, RANGE-ROWER, BENZ වල ආපු පට්ට සල්ලිකාර ඉන්දියන් කාරයො යනවා අපිව දැකලා මුණු සත පහ කරගෙන. උන්ගෙ නිළියො වගේ වයිෆ්ලා, දුවලා නිකන් යනවා ක්‍රිකට් කියන්නෙ මොනාද කියල නොදන්නවා වගේ. අපි එකම හූවයි බං. අපි උන්ට කරදර කළේ නෑ අපේ ආතල් එක අපි ගත්තා.... උන් වාහන වල නැඟලා අපිව පාස් කරන් යද්දි පොඩි හූවක් විතරක් තිබ්බා.
ඉතාලියෙන් ගෙනිච්ච වයින් සමහරු බීල.. සමහරු බීල තියෙන්නෙ අදමයි.... උන් පාර්ක් එකේ ගස් වලට හැංඟිල කබරයා දානවා.. සමහරු ගස් වලට මුවා වෙලා ගංජා ගහනවා.... මෙච්චර වෙලා පපර බෑන්ඩ් එකට සික්ස් එයිට් කියපු සිංදු ටික, ගංජා ගහපු උන් ආවට පස්සෙ විරහ ගීත උනා.. 


ළා සඳ පළුව ඇවිත්
විල් ගිර මුඳුනින් 
රන්තරු මාල බැඳන් 
රන්වන් අහසින් 
අද හොඳම දවස 
අද හොඳම දවස 
ඔබ එනවා නම්..........

 ඊට පස්සෙ බං 

මන්දාරම් අඳුර මැඳින්
හිරිපොද වැහි වැටෙන වෙලේ
මා හා ඇවිදන් යන්නට 
ඔබ හිටියා නම් 
ඔබ හිටියා නම් 

තව මං මුලාවී, සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා, දිනෙක හිරු බැසයන වෙලාවක, රෑ දුරු රට මේ, ඈත දුරක දෑස පාවෙලා, රන් තාරකාවන් දිලෙන රැයේ, එතකොට ක්ලැරන්ස්ලගෙ, කපුගේලගෙ, මිලටන් ලගෙ පට්ටම සිංදු ටිකක් ගැහුවා බං.


මචං ඒ අමුතු හීතලක් තිබ්බ ඒ රෑ කොල්ලො සෙට් පිටින් එකතු වෙලා පාර්ක් එකේ මැච් එක දිනපු කික් එකත් එක්ක විරහ ගීතයක් කියද්දි පට්ටම ආතල් බං. මෙහෙම කිව්වට වැඩක් නෑ. ඒක විඳලම බලන්න ඕනෙ.

ඔන්න කරුමෙට බං ඔතනින් යන්න ආව කොටි වගේ ටී ශර්ට් ඇඳ ගත්තු සෙට් එකක්. මැච් එක දින්නහම බං කික් එකනෙ කොහොමත්. ඊටත් වඩා මේ ලේසි මැච් එකක්යැ. අන්තිම ෆයිනල් එකක්නෙ.. අනිත් එක ගැහුවෙ ඉන්දියාවටනෙ. ඉතින් කික් එක ට්‍රිපල්. උන්ට වැඩේ දෙමු කියලා කට්ටිය කථා උනා. උන්ගෙත් හීට්යා හෙන සෙට් එකක්... අපේ උනුත් ඉන්නවා දැන් එකම වළියයි. ගුටි කෑවත් රිදෙන්නෙ නෑනෙ බං ඒ වෙලාවට මැච් එකේ කික් එකෙ හින්දා..... මචන් එක පාරටම පොළිසියෙන් ඇවිත් බැටං පොළු අරගෙන "ලාවුස් මාම කෙවිටෙන් හරක්ට තළනවා වගේ" අපිට තලාගෙන තලාගෙන ගියා.. රෑ හින්දා හොයන්නත් බෑ.
මට මචං යාන්තමට මතකයි මගෙ ඔළුවට හෙන බරට මොකක්ද වැදුනා වැදුනා වගේ....සිහිය ඇවිත් බලන කොට මම හිටියෙ කළුවර කාමරේක.. ඔළුව හෙන බරයි. ඇස් කරකද්දි නලලෙ ඉඳන් රිදෙනවා. හෙන කළුවර හින්දා විනාඩි 20 ක් විතර කළුවරට ඇහැ හුරු වෙනකන් හිටියා.. මට එහා පැත්තෙ තව එකෙක් හතර ගාතෙ දාල වැටිලා ඉන්නවා ඇඳක් උඩ. මාත් හිටියෙ ඇඳක් වගේ එකක් උඩ. මම උඩට ඇ
න් හිටපු ශ්‍රී ලංකා කියල ගහපු බැනියම නෑ. කොට කළිසමක් විතරයි තියෙන්නෙ. මට එහා පැත්තෙ ඇඳේ ඉන්න එකාගෙත් එහෙමයි කොට කළිසම විතරයි.... හැබැයි ඌ ගොරෝ ගොරෝ බුදි වගේ.
මට මචං මෙහෙම කරද්දි සිද්ධිය මීටර් උනා. එංගලන්ත පොලිස් කාරයො අපිට ගහලා සිහි නැති වෙනකන්.. අපිව අරගෙන ඇවිත් හිරේට දාලා. අපි ඇඳන් උන්නු ඇඳුම් ගලවලා අපිට හිරේට අඳින පිජාමා කොට කලිසම් අන්දලා...ඔහොම ටික වෙලාවක් හිටියා.... වතුරත් තිබහයි...... ආයෙත් නිකන් මට ලාවට වගේ නින්දෙන් සද්දයක් ඇහුන ඒලාම් එකක් ගහනවා වගේ....මාව ඇහැරුණා ඒ සද්දෙට... දැන්නම් ටිකක් එළියයි. එහා පැත්තෙ එකත් නැඟිට්ටා... අම්මේ මාර සංතෝසයක් බන් එවෙලෙ මට ආවෙ... ඌ ඉතාලියෙ මාත් එක්ක එකම කාමරේ ඉන්න එකා... ඉතින් සන්තෝස නැද්ද.. හිරේ ගියත් එකටනෙ බන්.
අරූ දැන් නැඟිටලා බුරුසු, අරන් තුවා අරන් මූණ හෝදන්න යන්න ලැහැස්ති වෙනවා.... මම නින්දෙන්ම ඇහුවා 

මචන් පොළෝසියෙන් බුරුසු, තුවා එහෙම දුන්නද කියලා. අරූ ඇහුවා
මොන පොළිසියෙන්ද?
ඇයි බං එංගලන්තෙ පොලිසියෙන්
මොන එංගලන්තෙද බන්?
ඇයි බන් අපි මේ කොහෙද ඉන්නෙ?
මේ ඉන්නෙ අපි වෙනදා හිටපු කාමරේ
එතකොට ඇපි ඊයෙ මැච් එක බලන්න එංගලන්තෙ ගියේ.. අපි දින්නෙ බං...අපි කොටි කොඩි වලට ගින්දර තිබ්බෙ.... අපි සිංදු කිව්වෙ .. පොලීසියෙන් අපිට ගැහුවෙ?
හු*** කතා කරන්න එපා මැච් එක ගැන ඊයෙත් අපි පරාදයි..කැ* දෝණියා අන්තිම ඕවරේට ලකුණු පහළොවක් ගහන්න තිබිලා ගැහුවනෙ ......උඹට එකපාරටම නිදිමතයි කියලා නින්ද ගියානෙ.
හුටා එතකොට මම දැක්කෙ හීනයක්ද?


ඒත් බං ඉහේ කෙස් ගානට හීන පෙනිලා තියෙනවා . මේ වගේ කික් එකක් තියෙන හීනයක් අම්මා මුත්තා කාලෙක දැක්කෙ නෑ.. ඒ වගේ හීන පේන්නත් පිං කරන ඕනෙ බොලව්. ඔක්කොවන්ටම වැඩියෙන්ම වටින්නෙ බං ෆයිනල් එකක් දිනන ආතල් එක හීනෙන් හරි ගත්තු එකනෙ.

ශශී

පහුගිය සතියේ හැන්දෑ වරුවක වැඩ නිම වී නිවෙස බලා යාමට අදාළ බස් රථය ගැනෙම පිණිස බස් නැවතුම් පොළට දිව ගියෙමි. සෙල්සියස් අංශක 34 කට  පමන උශ්ණත්වයක්ද, මහන්සියද  සමඟින් බස් රථය තුළට ගොඩ වදින විට දිව්‍ය ලෝකයේ ගියාක් මෙන් සිසිලසක් ගතට දැනුනි. සෙනඟ සෑහෙන ප්‍රමානයක් සිටි බස් රථය තුළට ඒ වන විටත් රියදුරු ඇතුළු වී සිටියේය. මමද රියදුරු අසුන ළඟම සිටගෙන සිටියෙමි. මොහොතකින් දොරවල් වසා ගමන ආරම්භ කරන්නට විය. ගමන ආරම්භ කළ පසු පළමු නැවතුම ඇත්තේ කිලෝමීටර තුනකට එහාය.
                   නිල් පැහැති අත් කොට කමිසයකින්, කලු කලිසමකින්, කලු සපත්තු කුට්ටමකින් සහ කලු ටයි පටියකින් සැරසී සිටින රියදුරු අව් කන්ණාඩි පැලැඳ සිටීයී. බස් රථය අයත් සමාගමේ නිල ලාංචනය  "A C T V"යනුවෙන් සාක්කුවේ මුද්‍රණය වී ඇත. දකුණු පසින් ඇති බොත්තම් දොරවල් වැසීමට සහ විවුර්ත කිරීමටය. හිසට ඉහළින් කැමරා කීපයක් වෙයි. ඒ දොරවල් වල පා පුවරු නිරීක්ශණය කරන කැමරාය. විශාල පැති කණ්නාඩි වලට අමතරව විශාල උත්තල කණ්නාඩියක් කැමරා අසළින්ම ඇත. 
                      බසය ඔටෝ ගියර් වර්ගයේ ද්විත්ව බස් රථයකි. 

එන්ජිම පිහිටා ඇත්තේ පසුපසය. බසය පණ ගන්වා ගියරය දමා ඉදිරියට ඇදෙන තුරුම කිසිදු ශබ්දයක්  පිට නොවෙයි. රියදුරු තැන තමන්ගේ ආසනයේ වාඩි වූ පසු  (ආසනයට වඩා කාමරය කීවොත් නිවැරදිය. එයට ඇතුළු වූ පසුව වසා ගැනීමට දොරක් ඇති අතර , ආවරණය කිරීමට තිර රෙදිද ඇත )  
ගුවන් නියමුවෙකු මෙන් දිස් වෙයි. ශීත කාලයට හීටර් යන්ත්‍රද, ගිම්හානයට වයුසමීකරණ යන්ත්‍රද එහි ඇත. ( මුළු බස් රථයටම මේවා සවිකර ඇත. නමුත් කිසි දිනෙක ක්‍රියා විරහිත නොවන යන්ත්‍ර ඇත්තේ රියදුරු තැන අසළය ) 
                     අත් සුක්කානම මත තබා ගත් පසු නැවත ඉන් ඉවත් කර ගැනීමක් නැත. බස් රථය හැරවීමේදී තමන්ගේ කුටියේ ඇති  කැමරා සහ කණ්නාඩි දෙස පමණක් බලයි. කිසි විටෙක බෙල්ල හරවන්නේද නැත. ඔහුගේ කලිසමේ ඇති යතුරු කැරැල්ලේ B M W වර්ගයේ වාහනයක යතුරක්ද අමුණා ඇති බැවින් B M W කාරයක හිමිකරුවෙකැයි සිතිය හැකිය.  මෙවැනි බොහෝ රියදුරන් රාජකාරියට වාර්ථා කිරීමට පැමිනෙන්නේ තමන්ගේ පෞද්ගලික වාහනයෙනි. බස් ගාල් කරන ස්ථාන වල  බස් රියදුරන් සඳහා වෙනම වාහන පාර්ක් ඇත. 
       පැයට කිලෝමීටර් 70 ක වේගයෙන් බස් රථය ගමනේ යෙදෙන බව ඩිජිටල් මීටරයේ සටහන් වෙයි. තවද වේගය අඩු වැඩි වෙන ස්ථාන වල ඔටෝ ගියරය D4 - D3 - D2 වශයෙන් වෙනස් වෙයි. 
                                 මා පාසල් යන අවධියේ එකට සිටි මිතුරෙක් මට හදිසියෙන්ම සිහිපත් වෙයි. ඔහුගේ පියා වෘත්තියෙන් පෞද්ගලික බස් රියදුරෙකි. වැඩ නිම වී නිවෙසට පැමිණෙන පියා ගේ තතු ඔහු ඒ දිනවල පැවසුවත් තේරුම් ගැනීමට හරි හැටි මට නොහැකි විය. තම පියාගේ වම් අත සෑම දිනකම තම මව විසින් තෙල් ගා අත ගාන බව ඔහු කීප වරක් අප සමඟ කී බව මා මතකයේ ඇත. 
                       මේ අපේ රටේ රියදුරන්ගේ සැබෑ තත්වයයි.ගියර් දැමීමට රියදුරන් විඳින දුක, බස් රථය හැරවීමට සුක්කානම කැරකැවීම යකඩයක නවන්නාක් මෙන් ශක්තිය වැයවෙන ක්‍රියාවකි. බෙල්ල සියක් වාරයකට වඩා වමටත් දකුණටත් හැරවීමට සිදු වෙයි. මා පාසල යන අවධියේ බස් රථ ධාවනය කළ රියදුරන් චිත්‍රයක් මෙන්  මා ඉදියේ මැවී පෙනෙයි. නිතරම බුලත් විටක් හපමින්, බුලත් විඩ කටේ පැත්තක රඳවාගෙන බස් රථයේ සෙනඟ ඉදිරියට ගැනීමට වෑයම් කරන අන්දම මා ඉදිරියේ මැවෙයි. ඔවුන්ගේ මුහුණු වල ඇට කටු පවා මතු වී තිබුනු හැටි හොඳ හැටි මතකය. ඔවුන් තවමත් රියදුරු රැකියාවේ යෙදෙනවා විය හැකියී. 
               රටවල් දෙකක නමුත් එකම වෘත්තියක ඉරණම දෙවිදිහකි. වම් පස ඇති සැහැල්ලු වාහන ගමන් කරන තීරුවේ "බී එම් ඩබ්ලියු, බෙන්(ට්)ස්, ඇල්ෆා රෝමියෝ ද, ඉඳහිට පෝර්ශ් ද පවනට බඳු වේගයෙන් ධාවනය වෙයි. ඒ වාහන සමඟ තරඟ වැදීමට මගේ " Made In Sri Lanka" හදවතේ එන්ජින් කැපෑසිටිය ප්‍රමාණවත් නොවන බව වටහා ගත්තෙමි.
ශශී
මම ඉතාම ආදරය කරන රටක් තියෙනවාය. මගේ මූණු පොතේ මිතුරන්ගෙන් තුනෙන් දෙකක්ම ඒ රටේ ඇත්තන්ය. මම ඔවුන් සමඟ මිත්‍රත්වයක් ඇති කර ගැනීමට ලොකු උවමනාවක් තිබුනේය. මට ඒ රටේ භාශාවද ටිකක් පුළුවන්ය. පහුගිය දවසක මූණුපොතේ කරක් ගහද්දි මේ රටේ ඇත්තන්ගේ නියම වැඩක් මම දැක්කේය. ලයික් කර සෙයාර් කරන පුරුද්ද මේ රටේ ඇත්තන් අතරත් ජනප්‍රියය. ආඩම්බර නම් සෙයාර් කරන්න යයි කියමින් ඔවුන් මේ සෙයාර් කරන්නේ ලෝකයේ පළමු අකුණු සන්නායකය නිපදවා ඇත්තේ තමන්ගේ මුතුන් මිත්තන් බවය. ඔවුන්ගේ මුතුන් මිත්තන්ගේ දස්කම මමත් ලයික් කර සෙයාර් කෙරුවේය. ඒත් මූණු පොතේ කට්ටිය එක එක කොමෙන්ටු දැම්මෝය. සමහරු ඒ බොරු යැයි කීවෝය. සමහරු ඒ ඇත්ත යයි කීවෝය. සමහරෙක් මෙසේද කීවෝය. 
"හෙණ ගහන්නේ පව්කාරයන්ටය. පව් කාරයන් ඒ උගුලෙන් ගැලවෙන්ට ක්‍රමයක් සෙව්වෝය. අවසානයේ අකුණු සන්නායකය බිහි උනේය". 
ඇතමෙක් මෙසේ කිව්වේය. 
"සුද්දාට හෙණ ගසන්නේ නැත. හෙණ ගැසුවා නම් බොලාට කලින් උන් ඕක හොයා ගන්නවාය."
මෙසේ කී දෙදෙනාම දේශද්‍රෝහීන් යයි මම සිතුවේය. අවසානයේ එක දේශප්‍රේමියෙක් ඇත්ත කථාව හෙළිදරව් කෙරුවේය.

"දිනක් මේ කියන රට බැලීමට සුද්දෙක් පැමිණියේය. මේ සුද්දා වතු සුද්දෙක්ය . එනම් ඇපල් , දොඩම්, මිදි යනාදී වතු රාශියක උරුම කරුවෙක් විය. මේ සුද්දා මේ කියන රටේ ඇවිදිමින් සිටියදී අර අකුණු සන්නායකය දුටුවේය. මෙපමණ කලක් තමාගේ වතු වල තිබෙන ගස් වල පළතුරු බිම වැටී නරක් වී යාමේ අවධානමට පිළියමක් හොයමින් සිටි සුද්දාට නියම අදහසක් පහළ විය.




 එනම් මෙය කෙක්කක් වශයෙන් භාවිතා කල හැකිය යන්නය. 
නැවත ගම රට ගිය සුද්දා මේ කියන රටේ අකුණු සන්නායකයේ ආකෘතියට යකඩෙන් කෙක්කක් හැදුවේය.... ඒ ගස් වැල් වල ඵල දරන වැසි වැටෙන අප්‍රියෙල් මාසයය. කෙක්ක සාදා ගහකට හේත්තු කර තේ එකක් බොමින් හිටි සුද්දාට, වැස්සත් සමඟ ඇදී ආ අකුණක් මේ කෙක්ක ට පතිත වී පොළොවට ඇද ගනු දකින්නට ලැබුනේය. ( මේ කියන දිනවල කළ කී දේ නිසා සුද්දන්ටත් හෙණ පතිත වීමට පටන් ගත් අවධියය ) වතු හිමි සුද්දා ඉක්මනින්  අදාළ අංශ දැනුවත් කළේය. පරීක්ශණ කණ්ඩායම් පැමිණියෝය. ඒ අනුව අදාළ රටෙන් හොරා ගන්නා ලද තාක්ශණයෙන් සුද්දන් ප්‍රථම වරට අකුණු සන්නායකයක් නිපදෙව්වෝය." 
                      මෙය සිද්ධ උනේ ගොඩාක් කාලෙකට කලින්ය... මේ කියන පුංචි රටට ආදරේ මම නිතරම එහි පුවත්පත් කියවන්නේය. මේ දවස් වල ඒ රටට ගොඩාක් වැස්සද වැටෙන්නේය.... වැස්සත් සමඟ එන හෙණ ගෙඩි වලින් හැකිතාක් ප්‍රවේශම් වන්න යනුවෙන් එහි පෝර්ති ද පළ වන්නේය..මේ තාස්සණය හොරකම් කරගත් සුද්දන්ගේ රටේ එහෙම පෝර්ති පළ වෙනවාදැයි මම නොදන්නේය.


                                  *****************************************



එකෝමත් එක රටක වංශවත් පවුලක් හිටියේය. මේ පවුල බොහෝම සතුටෙන්, බොහෝම ආඩම්බරයෙන් සැහෙන කාලයක් ජීවත් වුනෝය. ඔහොම ටික කාලයක් යද්දි පියා මිය ගියේය..මේ පවුලේ දීග යන වයසේ ගෑණු ළමයෙක් ද සිටියාය. තාත්තාගේ මරණයෙන් පසු මේ පවුලට මිළ මුදල් , පෙර විඳි සැප සම්පත් හිඟ වන්නට ද විය.  අතේ සතේ නැතත් හිතේ රැස්පොට් බැස්සේද නැත. 
                                        ඊට ගෙවල් දෙක තුනකට එහා කොල්ලෙක්ද සිටියේය. ඒ කොල්ලා බෝට්ටුවක නැඟී හොරෙන් ඉතාලි ගොස් නැවත ගම රට පැමිණ සිටියේය. සල්ලි යහමින් නැතත් ඉන්ට හිටින්ට ගෙයක් දොරක් හදාගෙන තිබුනේය. දවසක් මේ කොල්ලාට  මේ කියන තරුණිය ව මඟදි මුණ ගැසුනාය. දෙන්නා නෙත් කොණෙන් සිනා සෙන්නට පටන් ගත්තෝය. ක්‍රමක්ක්‍රමයෙන් එය ආදරයකටද පෙරළුනේය.
                                         ටික කාලයක් ගත වූයේය. මේ සම්බන්ධය ගෙදරට ආරංචි වූයේය. ආරංචිය ලත් සැණින් තරුණියගේ අම්මා සාරිය කරට ගත්තාය. කෙල්ලට බැණ, තරවටු කොට කොල්ලාගේ ගෙදරට ද ගියාය. කොල්ලාගේ ගෙදර ඇත්තන් බියෙන් වෙව්ලන්නට වන්නෝය. අපිට උඹලා ගැලපෙනවාදැයි අසුවාය. ප්‍රේම කථාව එතනින් අවසන් වූවේය. තරුණිය ඇඬූ කඳුළෙන් කාලය ගත කළාය. කොල්ලාද ටික කාලයකින් වෙනතක් බලා ගත්තේය.
                      එහෙමත් ටික කාලයක් ගත වූයේය. අම්මා වංශවත් පවුලකින් දුවට මනමාලයෙක් සෙව්වාය. තකට තක පොරක් සෙට් වූයේය. මනමාලයාගේ  වංශයද බොහොම උසස්ය. නමුත් දැන් බැහැගෙන යන කලාවය. අන්තිමේ මේ මඟුල සිදු වුනේය.
                             ඔහොම කල්ප කාලාන්තරයක් ගෙවී ගියේය. අම්මාට දියණිය බලන්නට යන්නට සිතක් පහළ උනාය. අසවල් දිනයේ තමන් එන බව කියා අම්මා දුවට ටෙස් මැසේජ් එකක් යැව්වාය. ඒ බිල නොගෙවීම නිසා දුරකථා ක්‍රියා විරහිත කර තිබීම නිසායමේ කියන දවස උදා විය. උදැහැනැක්කෙන් මෑණියන් වැට පැන එනු දුව දැක්කාය. විගසින් කුස්සිය වෙත දිව ගිය ඈ ෆ්‍රයින් පෑන් එකක් ලිප තබා ගෑස් පත්තු කළාය. තෙල් ටිකක්ද දැම්මාය. ලී හැන්දන් අතට ගෙන තෙල් ටික කලවම් කරන්නට වූවාය. රත් වෙන තෙල් සුවඳට මන් මත් වූ මෑණියන් කෙළින්ම කුස්සියේ දොර අසළට ආවාය. ඇවිත් තෙල් සුවඳට ඉව ඇල්ලුවාය.  "අද ස්පෙසල් ෆ්‍රයිඩ් චිකන් ද, බිස්ටේක් ද, ස්පගෙති කර්බොනාරා  ද" කියමින් දුවගෙන් ඇසුවාය. "නෑ අම්මේ අපි මේ ටිකේම කෑවෙ වංසෙ කබල් ගාල.... මම මේ අම්මටත් ටිකක් දෙන්න වංසෙ කබල් ගානවා" කියමින් හිස් තාච්චිය පෙන්නුවාය. කාරණය අවබෝධ කර ගත් මමී සැණෙන් ඩිසැපියර් වූවාය.

                   ***************************************************

මේ කථන්දර දෙකේ කිසිදු සම්බන්ධතාවයක් නැත්තේය. 

ශශී

අන්තිමේ වසර දෙකකට පසු ලංකාවට යන දවස උදා විය. කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් වෙනිස් සිට කටාර් දක්වාද, කටාර් සිට කටුනායක දක්වාද පැමිණිය යුතුය. කටාර් තෙක්ම  නිදි රහිත ගමනක් එන්නට සිදු වූයේ ඉන්දියානු ජාතික ගුවන් සේවිකාවක් නිසාය. දින දෙකක් නිදි වැරීමට සිදු වීම නිසා තරමක නිදි මත ගතියක් දැනුන නමුත් මව් බිමට පය තැබීමේ ප්‍රීතිය නිසා නින්දක් නො එන බව දැන ගෙන උන්නෙමි...
            කල්පයක් තරම් වූ වෙලාවකට පසුව ඒ උත්තරීතර නිමේශය උදා විය. ගුවන් යානය බිම පතිත වනවත් සමඟම ඔල්වරසන් දෙමින් පිටවෙන දොරටු කරා පැමිණියෙමු........
අනතුරුව.......
පළමු දැක්මෙන්ම හිත උතුරා ගලා හැලෙන ප්‍රීති ප්‍රමෝදයක් නළියන්නට විය. එනම් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිළදාරීන් දැකීමෙනි. වෙන වතාවල මෙන් නොව මොවුන් මුහුණ නිරන්තරයෙන් සිනහවකින් සරසාගෙන සිටිති. ගිය වතාවේ මෙන් මැලවුනු ,නිදිමත මූණු ඔවුන්ට නොවීය. කාර්‍යක්ශම නිළදාරීන් වූ ඔවුන් දේශීය මෙන්ම විදේශීය සංචාරකයන්ගේද පැසසුමට ලක් විය... වැලිගම බලා යන ඉතාලි ජාතික සංචාරකයන් කිහිප දෙනෙකු මා සමඟ පැවසුවේ මෙතරම් සුහද ශීලී, කාර්‍යක්ශම නිළදාරීන් පිරිසක් තමන් කිසි කලෙක දැක නොමැති බවයි....ආඩම්බරය පිරුණු පපුවකින් එළියට පැමිනියෙමි....තීරු බදු රහිත කඩ සාප්පු වල සේවකයන් ඉතාම විනීතව සුහදශීලිව සිනාසෙති. වචනයක් හෝ කතා නොකරති...ඔවුන්ගේ පෙනුම ගෞරවාන්විතය. ගුවන් තොටුපොලේ හැම සේවකයෙකුගේම පපුවෙහි නම සහ තමන් කතා කරන භාශා පිළිබඳව කෙටි සටහනක් ඇත. සිංහල කතා නොකරන පුද්ගලයන්ට තමන් කිසියම් විමසීමක් කළ යුත්තේ කුමන සේවකයාගෙන්ද යන්න ගැටළුවක් නැත. සියළුව සේවකයන් සිනහවකින් මුව සරසාගෙන ඇත.
                        මා රැගෙන යාමට තාත්තා එන බව අම්මා පෙර දින පැවසුවාය. ගුවන් තොටුපොලෙන් එළියට පැමිණ තාත්තා ඇද්දැයි විමසිලිමත්ව බැලීමි. දුර ඈත කොණේ තාත්තාගෙ රුව සටහන් විය.. විගසින් මා දෙසට පැමිණ මා වැළඳගෙන තාත්තා යමු යැයි හිසින් සන් කළ විට, (තාත්තා වෙනදා මෙන් අපේ ඥාති සොහොයුරෙකුගේ වාහනයෙන් එන්නට ඇත). මම වාහනය කොහෙදැයි තාත්තාගෙන් විමසුවෙමි. "පුතේ මම අද ආවෙ පාරෙ බස් එකේ" 

 අධික විඩාව නිසා බසයක ගමන්  කළ නොහැකි තත්වයක සිටි මගේ ඔරොප්පු මුහුණ තාත්තා දකින්නට ඇත. තරහින් මා දෙසට හැරුණු තාත්තා " උඹ ඒරොප්පෙ ඉඳලා ආවට කමක් නෑ පුතෝ.. හැබැයි අපේ දේවල් වලට ඔච වඩෝනවා හෙම නෙමේ... එළියට ගිහින් බලපන්කො දැන් මෙව්වයෙ තියෙන ඒවා"

හෙමින් හෙමින් බස් නැවතුම් පොළට පිය මැන්නෙමු. අප මෙන් සෑහෙන පිරිසක්ද, විදේශීය සංචාරයන් කිහිප දෙනෙක්ද එහි විය..
බසය එන වෙලාව ලෙස පෙරවරු 9.45 සටහන් වී තිබිනි....තත්පරයක් හෝ අප්‍රමාදව බස් රිය එහි පැමිණියේය. පුදුමයකි. නවතම වර්ගයේ බස් රථයක් වූ මෙහි මැදින් සොකට්ටුවක් ඇත. බස් රථ දෙකක් එකට අමුණා ඇති සෙයක් දිස් වෙයි. බස් රථයට ගොඩවන්නට ඇත්තේ ඉදිපස දොරටුව සහ පසු පස දොරටු දෙක පමණය. බැසීමට භාවිතා කරන්නේ මැද දොරවල් දෙකය. 

තාත්තා සාකුවෙන් ගත් කාර්ඩ් පත් දෙකක් එහි ඇති විදුලි උපකරණයට ළං කල විට කොළ පාට බල්බයක් දැල්විණි.විස්තරය තාත්තා මට පහදන්නට විය. " දැන් ටිකට් තමයි මේ. මේවා ගන්න ඕනෙ කඩවල් වලින්. කොන්දොස්තරලා දැන් නෑ බස් වල. මේ ලංගම බස් එකක්.. දොරවල් හතරටම කැමරා හයි කරලා තියෙන්නෙ.. ඩ්‍රයිවර් කැමරාවලින් බලලා තමා දොරවල් වහලා එහෙම යන්න පටන් ගන්නෙ. කට්ටියම ටිකට් ගැහුවද කියලා ඩ්‍රයිවර් ට පේනවා කැමරා වලින්"
                                හිමින් සැරේ අවට සිසාරා බැලුවෙමි. ගුවන් තොටුපොළ සඳහා භාවිත කෙරෙන බස් රථ වල ගමන් මළු බහා ලීම පිණිස වෙනම රාක්ක තනා ඇත. බසය සම්පූර්ණයෙන් වායුසමීකරණය කර ඇත. රියදුරු තැන වෙතට හෙමින් කිට්ටු කළෙමි... නිල් පාට කමිසයකින් සැරසී, ටයි පටියක් පැළඳ, ලංගම ලාංචනය පපුවේ පැළඳ, සංග්ලාස් ද පැළඳගෙන ඇත. ඔහුටම වෙන් වූ කුටියක් පරිද්දෙන් ඔහුගේ ආසනය දොරකින් ආවරණය කර ඇත... රියදුරු තැන සමඟ කතා කිරීම සම්පූර්ණයෙන් තහනම් යැයි සඳහන් දැන්වීමක් සිංහල, දෙමළ, ඉංග්‍රීසි, ඉතාලි, ප්‍රංශ සහ ජර්මන් වලින් අලවා ඇත.
                           වෙනදා පැයෙන් යන ගමන අද විනාඩි 30 න් යාමට හැකි ය. අතර මඟ බස් බොහොමයක් මේ වර්ගයේ බස්ය.. ලංගම බස් සුදු පැහැයෙනුත්, පෞද්ගලික බස් නිල් පැහැයෙනුත් වර්ණ ගන්වා තිබිණි. බසය නවත්වන්නේ අදාල නැවතුම් පොළවල්වල පමණය. පිටත් වන්නේ සියළු දෙනාම ගොඩ වී දොර හතරම  වසා ඇත්නම් පමණි. මාර්ග වල තත්වයද බෙහෙවින් වෙනස්ය. මෙවැනි බර වාහන යා යුත්තේ පාරේ වම් කෙළවරේය.. බර  අඩු වාහන දෙවෙනි තීරුවේ ගමන් කරයි. මාර්ගය දෙකට බෙදෙන පරිදි යකට වැටක් තනා ඇති අතර එහි නිශ්චිත දුර ප්‍රමාණකින් දුර ප්‍රමාණයකට දැවැන්ත කොහොඹ ගස් සිටුවා ඇත. කිසිවෙකුටත් පාර හරහා ගමන්  කළ නොහැකිය... එක දිසාවකට මන් තීරු දෙකකි. පාරවල් දෙපසත් යකඩ වැටවල් සිටුවා ඇත්තේ පයින් ගමන් කරන්නන් හට සහ බයිසිකල් කරුවන් හට මහා මාර්ගයට පැමිණිය හැකි නොවෙන පරිද්දෙනි.  ඔවුන් සඳහා වෙනම මන් තීරුවක් යකඩ වැටට එපිටින් තනවා ඇත.. ඊටත් එපිටින් ඇත්තේ එක පෙළට සිටවූ ගස් පෙළකි...එළියට බැසීමට අවකාශ නොලැබුනත් මේ ක්‍රමවත් නගර සැලසුම නිසා අධික රස්නය බෙහෙවින් අඩු වී ඇති බවක් දිස් වෙයි....මා යුරෝපයේ සිටියදී නිතරම අසන්නට ලැබුණු අපේ පුංචි රටේ සංවර්ධනය හිතට මහත් අස්වැසිල්ලක් විය. මා සතුටු වූ ප්‍රධානම කරුණ නම් මාර්ග වල කිසිම හෝර්න් හඬක් නොඇසෙන්නට වීමය. ත්‍රීවීල් කරුවන්ද, මෝටර් සයිකලද නිහඬව, දෙවෙනි මං තීරුවේ ගමන් කරයි. 
තුටු සිතින් නිවසට පැමිණියෙමි...... 
                 පසු දිනම යහළුවෙක් සමඟ නගරයට ගමන් කිරීම මගේ අරමුණ විය. ඒ  රටේ සංවර්ධනය සියැසින් ම දැක බලා ගැනීමටයි.... පාරවල්ද ඉතා පිරිසිදුය. සිගරට් කොට , බුළත් කෙළ නැත...නිශ්චිත දුර ප්‍රමාණයකින් දුර ප්‍රමාණයකට කුණු කසල බැහර කරලීම පිණිස විශල භාජන තනා ඇත.... ඒවායේ කුණු දැමිය යුත්තේ ප්ලාස්ටික් , කඩදාසි. සහ වෙනත් අපද්‍රව්ය ලෙස වෙන වෙනමය. පසුව ඒවා ප්‍රතිචක්‍රීකරණය සඳහා ගෙන යයි.  මහපාරේ ඇවිද යමින් සිටියදී පාරේ විරුද්ධ පැත්තේ සිටි පාසැල් මිතුරෙක් දුටුවෙමි... කලකින් දකින්නට ලැබූන් මිතුරා ගැන ලබැඳි දයාවෙන් මා ක්ශණයෙන් පාර හරහා පැන්නෙමි...එසැණින් 1600 cc පොලිස් මෝටර් සයිකලයක් මා අසළ නැවතුනි. ප්‍රසන්න පෙනුමකින් යුත් පොලිස් නිළදාරීන්ගේ මුහුණෙහි මනා පෞරුශත්වයක් ඇත. පරණ කාකි නිළ ඇඳුම වෙනුවට සුදු සහ නිල් පැහැයෙන් යුත් නිළ ඇඳුමක් ඇඟලා ගෙන සිටිති. බූට් පැළඳ ඇත. හිසට යුද හමුදාව පළඳින බෙරස් වර්ගයේ තොප්පි දමා අව් කණ්ණාඩි පැළඳ ඇත. රැවුල් මනාව කපා ඇත. බඩ නැත. කොන්ද කෙළින්ය. වැරදි තැනකින් පාර මාරු වූ මට 1000 ක දඩ කොළයක් දී තැපැල් කන්තෝරුවට ගෙවන ලෙස අණ කර සුහද සිනහවකින් සංග්‍රහ කර යන්නට හැරුණි. දඩ මුදල ගෙවීමට තැපැල් කන්තෝරුව තුළට පැමිණි මා පුදුමයට පත් කරමින් එහිද වෙනස්කම් රාශියක් සිදුවී තිබිණි. මෙහි ඇතුළු වන දොරටුව අසළම ඩිස්ප්ලේ එකක් ඇත. එහි විවිද කාර්යයන් සඳහා  A,B,C,D,යනුවෙන් කොටස් හතරකට බෙදා තිබිණි. 

A= බිලපත්, දඩ මුදල් ගෙවීම
B= ලියාපදිංචි ලියුම්/ පාර්සල්
C= කූරියර් සේවා
D=සාමාන්‍ය තැපැල් සේවා.

 මම  A අකුර සහිත බොත්තම ඔබා අදාළ අංකයක් ලබා ගතිමි. තමන්ගේ වාරය එනතෙක් වාඩි වී සිටීමට පාරිභෝගිකයන්ට පුටු තබා ඇත. සඟර , පුවත්පත් පසෙකින් තබා ඇත. බොහොමයක් දෙනා එක්කෝ පොතක් කියවති. නැත්නම් පුවත්පත් බලති. මිනිසුන්ද වෙනදාට වඩා වෙනස් වී ඇති සෙයක් හැඟෙයි.. ගැහැණුන් මහත නැත. පිරිමින්ගේ බඩ නැත. කහින්නේ, හොටු සූරනේද නැත. පෝලිම් පනින්නේ නැත.... ආචාර ශීලීය. කලක පටන් නිවැරදි ක්‍රමවේදයන්ට හුරුවූ මිනිස් කොට්ඨාශයක් පරිද්දෙන් ඔවුන් මට දිස් වෙයි..
     තැපැල් කන්තෝරුව තුළ සේවකයන් කිහිප දෙනෙක් කාර්යක්ශමව වැඩෙහි  යෙදී සිටිති. කවුන්ටර 6 ක් ඇත. මඳ වෙලාවකට පසුව  මගේ අංකය කවුන්ටර් අංක 5 හේ සටහන්  විය. එහි සිටි තරුණිය මුව පුරා සුනහවකින් මා පිලිගෙන අදාළ කාරනාවෙහි යුහුසුළුව යෙදෙන්නට විය. එය නිම වී මා ආපසු ඒමට හැරෙනවාත් සමඟම "සුබ දවසක්" යනුවෙන් ආචාර ද කලාය.
                                පාරේ මඳ දුරක් ඇවිදගෙන එද්දී පාරේ අලුත්වැඩියාවක නියුතු සේවකයෙක් දුටුවෙමු. රේඩියම් සහිත නිළ ඇඳුමක් පැළඳ, විශාල ප්‍රමාණයේ හෙඩ් ෆෝන් දමා, හෙල්මට් පැළඳ අදාළ ස්ථානය වර්ග අඩි 25 ක පමණ ප්‍රමානයකින් වට කොට ඔහු තම වැඩෙහි යෙදී සිටීයී....මෙය පාරේ ඇති වූ කුඩා ඉරිතැල්මක් අලුත්වැඩියා කරන අයුරු යැයි ද, දියුණු රටවල මෙන් දැන් මෙහිදීත් කුඩා වැඩකදි වුවත් අරක්ශාව පිළිබඳ ප්‍රථමයෙන් සළකිලිමත් වෙන බවද මගේ මිතුරා පැවසීය. ඔහු අසළම සිටි ටයි පැළඳ ගත්, සේවකයා සමඟ කුළුපගව සිනාසෙන වැදගත් පෙනුමකින් යුත් මහතෙකු මගේ අවධානයට ලක් විය..මගේ හැඟීම් තේරුම් ගත් මිතුරා ඒ " ප්‍රාදේශීය සභා සභාපති බවත්, දහවල් විවේකයේ මෙය නිරීක්ශණය කිරීමට පැමිණ ඇති බවත් කීවේය.
අවසානයේ මිතුරා ගෙන් සමුගත් මා නිවෙස වෙත පැමිණියෙමි.. හෙට දිනයේද ටවුමට යාමට මට අවශ්‍ය බවත් පාන්දරින්ම මා අවදි කරන ලෙසත් නිදි ඇඳේ සිටම අම්මාට කීවෙමි. ඒ නැවතත් යුරෝපයට යාමට තිබුණු ටිකට් පත අවලංගු කිරීමටය. මෙහි සිදු වූ වෙනස් කම් සහ සංවර්ධනය නිසා මම දිගටම ලංකාවේම නවතින බවත්, මා බලාපොරොත්තුවෙන් සිටි සංචාරක කර්මාන්තයේ , මගේ සුදුසුකම් වලට අනුව රැකියාවක් කරන බවත් අසා සිටි අම්මා හෙමින් කඳුළු පිසලන්නට විය. අම්මාට අනුව සුදුස්සාට සුදුසු තැන දෙන මෙවන් රටක් අහළ ගම් හතකවත් නැත. මා ගත් තීරණය හිස අතගා ස්ථීර කළ අම්මා අවසානයේ 
" සර් කැන් යූ ප්ලීස් ටේක් යුව සීට් ඉන් කරෙක්ට් පොසිශන්. වී ආ රෙඩි ටු ලෑන්ඩින්" 
යනුවෙන් කීවාය.




ශශී

මගේ මිතුරෙක් ක්‍රිකට් වලට තදින් ඇබ්බැහි වී සිටියේය.ලසිත් මාලිංග යනු ඔහුගේ ප්‍රියතම ක්‍රීඩයා විය. මැච් තිබෙන දවසට පාසල් ද නො එන තරමට ඔහු ක්‍රිකට් උන්මත්තකයෙක් විය....ඔහුගේ පියාද මැච් තිබෙන දවසට ඔෆිස් නොයයි. දින තුනකට පමණ කලින් ඔහු තදබල ලෙස අසනීප වී ඇත. ඔෆිස් නොයා ගෙදරට වී සිටි ඔහු හරි හැටි කෑමක් බීමක් පවා නොගත් බව ඔහුගේ මව මට පැවසුවාය. දැන් ඔහුගේ තත්වය ටිකක් යහපත් අතට හැරී ඇති බැවින් මට ඔහු හා සමඟ කතා කිරීමට ලැබුනි. 
      ඔහුට අසනීප වී ඇත්තේ ලසිත් මාලිංග මාධ්යයට බණ වැදීමෙන් අනතුරුවය. ඔහුට ක්‍රිකට් එපා වී ගොස් ඇත. තම පියාට 2011 ලෝක කුසලානය අවසානයේ හාර්ට් ඇටෑක් සෑදෙන තරමටම අමාරු වූ බවද, තමා ද  එම තත්වයටම කලින් ක්‍රිකට් බැලීම නතර කරන බවද ඔහු මා සමඟ පැවසීය. කිසිම ක්‍රීඩකයෙක් මින් පසු තමන්ගෙ ප්‍රියතම ක්‍රීඩකයන් බවට පත් කර නොගන්නා බවද , මැච් බැලීමට නොයන වගද, කීයයි කිව්වත් චියර් නොකරන බවද මා සමඟ පැවසෙය. තව සති දෙක තුනක් ඉවසමු යැයි මම යෝජනා කළත් ඔහුගේ දැඩි ස්ථාවරය වෙනස් කිරීමට මට නොහැකි විය.....ලසිත් මාලිංගට තමන් වයිර නොකරන බවද, මාලිංගට වයිර කරන අයට වයිර නොකරන බවද ඔහු මට පැවසීය. අවසාන වශයෙන් තමන් ලෙඩ ඇඳට වී සිටියදී  ලියන ලද ගීතයක් මට එවන ලදි...ඔහුට උපහාර පිණිස මෙය මෙහි පළ කරමි.


සිත ඔබට මුවා වී ඉකි බිඳිනා
නුඹ අයි පී එල් හා සුව විඳිනා
ක්‍රිකට් ලොවේ.... දොර කවුළු වැසේ
සිත ඉකි ගසමින් හඬන හැටී
නුඹ ලීග් සොයා ගිය දා ඉඳලා.....

1) සිත ඉවසන්නෑ අත්සන් කෙරුවත්
දුක අඩුවී නෑ කොච්චර බිව්වත්
දැන් යෝ...කර් නෑ
වැඩියෙන් ගෙව්වත් 
නුඹ ලීග් සොයා ගිය දා ඉඳලා....

සිත ඔබට මුවාවී ....

2) ටෙස් මැච් නුඹ නෑ කන්ට්‍රැක් ගැහුවත්
වැඩ පෙන්නන්නෑ හතළිහ දුන්නත්
නුඹ ඉන්...ජඩ් නෑ
පී එල් තිබුනොත් 
නුඹ ලීග් සොයා ගිය දා ඉඳලා......

සිත ඔබට මුවාවී
ශශී

ඉන්ටර්නෙට් එකේ මේ දවස් වල මාලිංගය ව පීචං කරන කෙරිල්ල දැක්කොත් ඒකා ආයෙ සිලෝන් ටීම් එකට ගහයිද කියලා සැකයි...පව් 
පව් කිව්වෙ මාලිංගයට හෙම නෙමේ.. මට නම් ගොඩාක් පව් කියලා හිතුනෙ ජනතාව... ඉන්ටනෙට් පාවිච්චි කරන ජනතාවගෙන් 95% ක් විතර හිතාගෙන ඉඳලා තියෙන්නෙ ටීම් එකේ උන් සෙල්ලම් කරන්නෙ රට වෙනුවෙන් කියලා .....උන්ට පව්.. ටීම් එකේ උන් රටට ආදරෙන් උන්ගෙ රස්සාව කරන එක ඇත්ත.. රට දිනවන්න ෆුල් ට්‍රයි එක දෙන එකත් ඇත්ත..... ඒත් රට වෙනුවෙන් සෙල්ලම් කරන්නෙ නෑ....
                           මිනිස්සුන්ගෙ ගොඩාක් හිත රිදෙන්න හේතුවක් තමයි ඔය විදිහට හිතාගෙන ඉඳල තියෙන එක. 
    මේ මාර්තු මාසෙ .. 1996 මාර්තු මාසෙ ලංකාව වල්ඩ් කප් එක දිනලා අවුරුදු 17 ක් වෙන්න ඇවිත්.....මට මතකයි ඒ දවස අද වගේ... මම 6 වසරෙ . කවදාවත් ගෙදර සුරුවම් කූඩුවට පහනක් පත්තු නොකරපු අපේ තාත්තා පළවෙනි වතාවට මේ මැච් එක කොහොම හරි දිනන්න කියලා දෙයියො ඉස්සරහ පහනක් පත්තු කළා. අද මාලිංගයට බනින මිනිස්සුයි, එදා අපේ තාත්තයි දෙගොල්ලොම අහිංසක ක්‍රිකට් ලෝලියො.... මැච් එකක් දින්නොත්  ෆේස්බුක් ඇවිත් දේශ්ප්‍රේමී සටන් පාඨ කිය කිය ෆොටෝ ශෙයා කරන්න, ලෝකෙට පේන්න උන්ට චියර් කරන්න තරම් හැකියාවක් නැති අපේ තාත්තලා වගේ මිනිස්සු , කුලී වැඩ කරන මිනිස්සු, මාළු අල්ලන මිනිස්සු, කළු ගල් තලන මිනිස්සු ඒ ගොල්ලන්ගෙ සතුට සමරන්නෙ රතිඤ්ඤයක් පත්තු කරලා, ගෙදරට චයිනීස් බත් එකක් ගෙනල්ලා....ඒ දුප්පත් මිනිස්සු දන්නෙ මාලිංගයලා මාසෙට ලක්ශ 40 ක් නැතුව රිකට් ගහන්න බෑ කියනවා කියලා විතරයි...දවසකට රුපියල් 400 ක් අමාරුවෙන් හම්බ කරන ගොඩක් දුප්පත් එවුන් ලක්ශ 40 ට ඊරිශියා නොකරන එවුන් බව මම අත්දැකීමන් දන්නවා.... 
       මාලිංගයට පක්ශව කථා කරම එවුන්ගෙ විරෝදය කෙලින්ම එල්ලෙ වෙන්නෙ මාධ්‍යයට ...... දේශපාලකයො ජඩ වැඩ කරන කොට මෙවුන් හිටියෙ කොහේද ?... උන් හොරකන් කරන කොට කට වහගෙන හිටිය උන් දැන් මාලිංගයගෙ වචනයක් අල්ලගෙන ඌව පට්ට ගහනවා කියනවා.... ඇත්ත තමයි බං..... ඔය දේශපාලනේ හින්දම තමා මාලිංගයගෙ වචන වලින් අපේ උන් නැට්ටටම හිත් රිද්දගන්නෙ... ඒ කියන්නෙ අද වෙනකොට රටේ මිනිස්සුන්ගෙන 100% කටම දේශපාලනය තිත්ත වෙලා... රටේ තියෙන ප්‍රශ්ණ වලින් හෙම්බත් වෙලා, මිරිකිලා උන් සතුටක් හොයා ගෙන, රට වෙනුවෙන් කියලා සතුටු වෙන එකම දේ තමා ක්‍රිකට්.. දේශපාලකයා සහ ක්‍රිකට් ක්‍රිඩකයා කියන්නෙ ජනතාවගෙ පැත්තෙන් බැලුවහම යකෙකුයි දෙවියෙකුයි වගේ... ඉතින් දේශපාලකයා කියන එකා කරන කියන කිසිම දෙයකින් ජනතාව තමන්ගෙ හිත රිද්දගන්නෙ නැති තරමට ජනතාව හිත් ගල් කරගෙන..... ඒත් මේ වගේ ආදරේ කරන ක්‍රිකට් ක්‍රීඩකයෙක් මෙහෙම  දෙයක් කිව්වොත් මිනිස්සු පුදුම විදිහට කඩා වැටෙනවා... ඒකයි බං දේශපාලකයන් කරන වැරදි වලත් වැඩිය මේ වැරැද්ද මිනිස්සුන්ට පේන්නෙ......
ගමෙන් ඇවිල්ලා වැඩ පෙන්නලා, මිනිස්සු හිතාගෙන උන්නු ඒ දුප්පත් පන්තියෙ ක්‍රීඩකයා සුණු විසුණු වෙලා ගිය එක මිනිස්සුන්ට මාර හිතට අමාරුයි
මිනිස්සු හිතාගෙන උන්නු පීඩිත පන්තියෙ ක්‍රීඩකයෙක් වෙනුවට ධනවාදී ක්‍රීඩකයෙක් නිර්මාණය වෙනවා...
අර බඩ මහත , රට කන , තමන් ගැන විතරක්ම හිතන දේශ්පාලකයොයි මුන්ගෙයි වෙනසක් නෑ කියලා මිනිස්සු බය වෙනවා.. ඒ බයටයි මිනිස්සු මෙච්චර කෑ ගහන්නෙ  ...මිනිස්සුන්ට ඕනෙ , මිනිස්සු බලාපොරොත්ටු වෙන්නෙ හැමදාම අර පීඩිත පන්තියෙ ක්‍රීඩකයා... එතකොට පොඩි හැඟීමක් ත්යෙනවා මූ අපේ එකෙක් කියන එක...
සති දෙකක් යනකන් උන්ගෙ ෆෑන් පේජ් වල කුණුහරුපෙන් බනිනවා, ලයික්, කොමෙන්ටු දාන්නෙ නෑ.. මැච් බලන්න යන කට්ටිය අඩු වෙනවා.....
 ඊට පස්සෙ ආයෙත් ටිකෙන් ටික අපේ මිනිස්සුන්ට මේ දේවල් අමතක වෙලා යනවා... මාලිංගයලා හොඳට ක්‍රිකට් ගහයි.අපේ උන් චීයර් දායි.. ෆේස් බුක්වල "ප්‍රවුඩ් ටු බී අ ශ්‍රී ලාංකන්" කියලා ෆොටෝස් ශෙයා කරයි, මැච් බලන්න සෙනඟත් ඉඳීයී, දුප්පත් මිනිස්සු රතිඤ්ඤා පත්තු කරයි.....චයිනීස් බත් කයි......බලද්දි දෙපැත්ත තුන් පැත්තම සාධාරණයි........හොඳම දේ බං රට වෙනුවෙන් තමන් කරන දේ කරනවා මිසක් , අනුන් රට වෙනුවෙන් මොනද කරන්නෙ කියලා හොයන එක නෙමේ.
ශශී
"කපුච්චීනෝ" යනුවෙන් හඳුන්වන්නේ කිරි සහ කෝපි වලින් හදා ගන්න සම්ප්‍රදායික ඉතාලි පානයක්. මෙය ඉතාලි භාශාවෙන් "කපුච්චීනෝ " යනුවෙන් හඳුන්වනු අතර ඉංග්‍රීසින් උච්චාරණය කරන්නේ " කැපචීනෝ" යනුවෙන්. මේ "කපුච්චීනෝ" සහ විවිධ කෝපි වර්ග සාදා ගැනීමට පාවිච්චි කරන යන්ත්‍රයක්. 


                                                               (පින්තූරය - ගූගල්)

මෙහි කළු පාට මිටක් සහිත උපකරණ දෙකක් ඔබට දැක ගැනීමට පුළුවන්. එය වම් අතට කරකවා ගැලවීමට පුළුවන්. එහි අග යන්ත්‍රයට සවි වන කොටසෙහි කෝපි කුඩු පිරවීමට හැකි කුඩා කුහරයක් ඇත. නැවත එය යන්ත්‍රයට සවි කර දකුණට කරකැවූ විට යන්ත්‍රයට සවි වේ.

1) Black Coffee
2) Coffee With Milk
3) American Coffee

යන වර්ගයන්ට අදාළ බොත්තම එබීමෙන් පසු අපට අදාළ කෝපි වර්ගය ලබා ගත හැකීයී. අපට අවශ්‍ය සීනි ප්‍රමාණය දමා ගැනීම පමණයි අප කළ යුතු.


"කපුච්චීනෝ"සාදා ගැනීම සඳහා "Black Coffee " ලබා ගත යුතුයි. සාමාන‍යයෙන් "Black Coffee " එකක අන්තර්ගතය කෝප්පයකින් තුනෙන් එකක් පමණ වේ. එයට අප විසින් කලින් උණු කර ගත් කිරි වත් කළයුතුයි. කිරි උණු කිරීම සඳහා මෙම යන්ත්‍රයේ වම් පස ඇති කූරක් වැනි උපකරණය භාවිතා කරයි. සීතල කිරි භාජනයකට දමා, මෙම උපකරණය කිරි භාජනයට දමා අදාළ බොත්තමක් එබූ පසු කිරි එක රත් වේ. නමුත් "කපුච්චීනෝ" එකක් සාදා ගැනීමට උණු කිරි පමණක් නොව කිරි වල පෙණ ද අවශ්‍ය වන බැවින් උණු කර ගන්නා ගමන්ම පෙණ ලබා ගැනීමට කළ යුත්තේ කිරි භාජනයේ අඩියේ සිට ඉහළට එන තෙක් සීරුවට මෙම උපකරණය ක්‍රියාත්මක කිරීමයි. එය අත්දැකීමෙන් ඉගෙන ගත යුතු දෙයකි. කෝපි වල ගුණාත්මක බව, කෝපි වලට සාපේක්ශව කිරි ප්‍රමාණය, පෙණ ප්‍රමාණය "කපුච්චීනෝ" එකක රසයට බලපාන කරුණුයි. සාමාන්‍යයෙන් කෝපි ප්‍රමාණයට සමාන කිරි ප්‍රමාණයක් පමණයි එකතු කළ යුත්තේ. තවද කෝපි කුඩු අඩංගු උපකරණය යන්ත්‍රයට සවි කර එක වරක් කෝපි එකක් ලබා ගැනීමෙන් අනතුරුව එය ඉවත් කරන අතර, අලුත් කෝපි කෝප්පයක් සඳහ සැම විටම අලුත් කෝපි කුඩු එකතු කිරීම සිදු කරනු ලබයි.
                  මුලින්ම කෝපි සහ ඒ ප්‍රමාණයට කිරි වල පෙණ එකතු කිරීමෙන් සාදා ගන්නා මෙම පානය ඉතාලියේ සම්ප්‍රාධායානූකූල පානයයි.  උණු ජෑම් අඩංගු ක්‍රොසන්ට් සමඟ "කපුච්චීනෝ" ඉතාලි වැසියන්ගේසම්ප්‍රාධායානූකූලඋදය ආහාරය වෙයි.

                                                                  (පින්තූරය - ගූගල්)
                                                             

"කපුච්චීනෝ" එකක් ඉතාලියේදී යුරෝ එකයි සත පණහකට පමණ මිල දී ගත හැකීයී. සාමාන්‍ය "කපුච්චීනෝ" එකකින් නොනැවතී විවිධ හැඩ දැමූ "කපුච්චීනෝ" බොහෝ විට ඉතාලියේදී දැක ගත හැකීයී. ඒ සඳහ චොකොලට්, ක්‍රීම් වර්ග භාවිත කරනු ලබනවා.






ශශී

කැරොල් කියලා කියන්නෙ කතෝලික ආගමේ නත්තල් කාලය ආශ්‍රිතව (සමහර රටවල පාස්කු කාලය ආශ්‍රිතවද ) ගායන කරන , නැටුම් සමඟින් ගායනා කරන විශේශිත ගීත වලට... කැරොල් සංස්කෘතිය ඇවිත් තියෙන්නෙ ප්‍රංශෙන් කියලයි ඉතිහාසය කියන්නෙ... ප්‍රංශය සහ අනෙකුත් ලතින් රටවල් වල මුල් කාලයේ ප්‍රචලිත උනත්  , වර්තමානයේ මුළු ලෝකය පුරාම මෙය ප්‍රසිද්ධයි.... 
            නත්තල් කාලයේ අපේ රටේ කතෝලිකයන් බහුලව වාසයන කරන ප්‍රදේශ වල , ඒ විතරක් නෙමේ සියළුම කතෝලික පල්ලි ආශ්‍රිතව කැරොල් ගායන කරන් ආකරය දැක ගන්න පුළුවන්.
             මා සමඟ එකට වැඩ කරපු වෙනිසියුලානු ජාතිකයෙක්, ඒ ගොල්ලන්ගෙ රටේ සම්ප්‍රධායානුකූල කැරොල් ගීතයක් මට අහන්නට සැලැස්වුවා. වෙනිසියුලාව ලතින් අමෙරිකානු රටක් නිසා එහි භාවිත වෙන්නෙ ස්පාඤ්ඤ බාශාවයි. (ලතින් ඇමෙරිකානු ස්පාඤ්ඤ ) රස විඳලා බලන්න ස්පාඤ්ඤ භාශාවෙ මියුරු සංගීත්වත් බව.

1) මේ තියෙන්නෙ ඒ ගීතයේ මුල් ගායනය.


2) මේ තියෙන්නෙ ඒ ගීතයම තවත් නාද රටාවකට.


3) මෙන්න අපිට ගැලපෙන වර්ශන් එක. 



ශශී



ඔන්න ඉතිං ආයෙත් සීත කාලෙ ඇවිත්. තව ටික දවසකින් හිම වැටෙන්න පටන් ගනීයී.
ලංකාවට හිම වැටෙන්නෙ නැතත් දැන් ලංකාවෙ ඉන්න යාළුවන්ට ෆේස්බුක් වලින් හිම බලන්න පුළුවන්. හොඳම ක්‍රමේ තමා ළඟදි යුරෝපෙට ආව 7,8 දෙනෙක් ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ඉන්න එක. 
හිම වලට කෝඩු කාරයෙක් නම් ඒ පළවෙනි අවුරුද්දෙ හිම වැටෙන කන් බලන් ඉන්නව ඉතිං කොහොම හරි ෆොටෝ එකක් ගහ ගන්න. ඉතිං හිම වැටෙද්දි කැමරාවක් අටවගෙන තකහනියක් යනවා ෆොටෝ ගහන්න. එතකොට සෙල්සියස් අංශක බිංදුවට රින එකට විතර තියෙන හිංදා අනිවාර්‍යයෙන්ම අත් මේස් දාන්න වෙනවා. ඉතිං අත් මේසුත් දාගෙන කොහොමද කැමරාවෙ බට්න් ආම් බාං කරන්නෙ. ඒ හිංදා අත් මේසුත් ගලවගෙන හීතලේ ඇඟිලි පුපුරු ගහද්දි කොහොම හරි කට්ට ගහලා ලස්සන ෆොටෝ එකක් ගහ ගන්නවා.




 ෆේස්බුක් එහෙම දාන්න පුළුවන්නෙ. කිව්වට මොකද මේ උඩ තියෙන ෆොටෝ එකත් මම ගහගත්තෙ ඒ විදිහට තමා....
ඊළඟට දෙවෙනි අවුරුද්ද විතර වෙනකොට හිම වැටෙද්දි අර තරම්ම උනන්දුවක් නැති උනත් ආයෙත් යනවා කැමරාව අටෝගෙන එහෙම ෆොටෝ ගහන්න . (අච්චරම ෆොටෝ ගැහුවෙ නැතත්) පළවෙනි අවුරුද්ද තරම්ම කාලය නාස්ති කරන්නෙ නෑ. ඒත් හිම වැටෙනකන් බලන් ඉන්නවා. 
තුන් වෙනි අවුරුද්ද විතර වෙන කොට ඔන්න හිම වැටෙන කාලෙට ෆොටෝ ගැහිල්ලනම් නවතිනවා. ඒත් කොහෙ හරි යමින් ගමන ෆෝන් එකේ කැමරාවෙන් ෆොටෝ එකක් ගන්නවා. හිම ගැන එච්චරම උනන්දුවක් නෑ. ඒත් වැටෙද්දි ආසයි.
හතර වෙනි අවුරුද්දෙ හිම වැටෙන කොට ගානක්ම නැති වෙලා. දැන්නම් හිම වැටුනත් එකයි, නැතත් එකයි කියලා හිතාගෙන පාරෙ හිම ෆොටෝ ගහන එවුන්ට යටි හිතින් හිනා වෙවී ඉන්නවා. මොනා උනත් වැටෙන වෙලාවට පොඩ්ඩක් ආතල්.
ඔන්න පස් වෙනි අවුරුද්ද විතර වෙන කොට හිම වැටෙනවා කියලා කාලගුණ නිවේදනයට කියන කොටත් යකා නඟිනවා. වැටෙන වෙලාවට පොඩි කික් එකක් තිබ්බත් මේ මොන රෙද්දක්ද කියලත් හිතෙනවා....

මම ගිය අවුරුද්දෙ හිම වැටෙන වෙලාවක පාර දිගේ ඇවිදන් යද්දි හම්බුනා ලංකාවෙ අංකල් කෙනෙක්. අවුරුදු 25 ක් විතර මෙහෙ ජීවත් වෙච්චි. අවුරුදු 7 කින් ලංකාවට ගිහින් නෑ කිව්වා මොකද දන්නෙ නෑ... මාත් එක්ක කතාවට වැටිලා සිගරට් එකකුයි ලයිටරේකුයි එළියට අරගෙන  බංකුවක ඉඳ ගත්තෙ "හිම වැටෙන වෙලාවට හීතලේම සිගරට් එකක් ගහන එක තරම් සනීපයක් තවත් නෑ" කියලයි..  

හිම වැටිල ඉවර වෙලා යාන්තමට පාවෙන  තුහින වල තෙතමනයත් එක්ක ගින්දර පත්තු කරන්නෙ කොහොමද කියලා මම බලාගෙන හිටියා.... එක පාරයි. සිගරට් එක පත්තු කළා..... සිගරට් බීමටත් අවුරුදු ගානක පළපුරුද්දක් තියෙනවා කියලා මට හිතුනා..
එතකොට මට මතක් උනේ ෆේස් බුක් එකේ ජනප්‍රිය කවිකාරයෙක් වෙච්චි "රුවන් බන්ධුජීව " ලිව්ව කවියක්.

" වීසි කරන්නද මම 
හිම කැටයක් නුඹ දෙසට 
ගල් පොත්ත මත වාඩි වී
සිගරට්ටුවක් උර කොට හවසට...."

ඉතිං මමත් අංකල්ට මේ "හිම වැටීමේ පරිණාමය" පොඩ්ඩක් විග්‍රහ කළා. අංකල් හක හක ගගා හයියෙන් හිනා උනා. ඊට පස්සෙ සැහෙන වෙලාවක් සිගරට් එක උරන ගමන් මොනාදෝ කල්පනා කළා. මට ඒ වෙලාවෙ හිතුන මිනිහට වෙරිද මන්දා කියලත්.
මේ කතාව අහලා අංකල් මරු කතාවක් කිව්ව. විසි පස් වෙනි අවුරුද්ද විතර වෙනකොට "හිම" කියන වචනෙ කියන්න ඕනෙ නැහැලු "හි" යන්න කියන කොටත් කට්ටිය දුවනවලු. 
මේ පාර මම හක හක ගාල හයියෙන් හිනා උනා. 
අන්තිමට අංකල් එයාටම කියා ගත්තෙ "හරියට ආදරේ කියන ඉටිගෙඩිය වගේම තමා කියල"



ශශී
අමරදේව මාස්ටර් ගෙ අලුත් සිංදුවක් වගේ... මම නම් කවදාවත් අහල තිබ්බෙ නෑ .. යූ ටියුබ් එකෙත් අප්ලෝඩ් කරලා තියෙන්නෙත් ඊයෙ මේ සිංදුව ... එහෙනම් කට්ටිය අහලම බලලා ගුණ දොස් කිව්ව නම් .... මට නම් ඉතින් සුපිරීයී......

ශශී

සුන්දර ස්විට්zසර්ලන්තය ගැන මීට පෙර මම ලිපි දෙකක් ඉදිරිපත් කළා.... 

http://sithaniwanathana.blogspot.it/2012/08/2_5668.html  

http://sithaniwanathana.blogspot.it/2012/08/blog-post_22.html

මෙම ලිපියෙන් මා  ඉදිරිපත් කරන්නේ  මා දුටු ගෘහ නිර්මාණ ශිල්පය, ස්වාභාවික පරිසරය සහ අලංකාර කඳු පංති කිහිපයක චායාරූපයි... සාරවත් බව ස්වාභාව ධර්මයෙන් පුදුමාකාර විදිහට ලැබුනු රටක් වශයෙන් ස්විට්Zසර්ලන්තය හඳුන්වන්නට පුළුවන්.. ගස් වල මල් පල දරන වසන්ත කාලයේ සහ ගිම්හාන කාලයේ මුළු වටපිටාවම තද කොළ පැහැ ගැන්වෙනවා.......බැලූ බැලූ අත දකින්න ලැබෙන්නේ සාරවත් බවේ ලක්ශණයි.



මේ තියෙන චායාරූප වලින් ඔබට අදහසක් ගත හැකි වේවි තණකොළ වල පවා තිබෙන සාරවත් බව.







කිරි නිශ්පාදන සඳහා ගවයන් ඇති කිරීම ස්විට්zසර්ලන්තයේ ප්‍රධාන ආදායම් මාර්ගයක් වෙනවා... මෙහි තිබෙන්නේ සත්ව ගොවිපොළක් සහ එම කර්මාන්තයේ නියැලෙන්නන්......
මෙහි ස්විට්zසර්ලන්ත සම්ප්‍රාධායානූකූල ඇඳුම් වලින් සැරසුනු ගොවි මහතුන් සහ ගෙවිලියන් දකින්න පුළුවන්.









කඳු මුඳුන් වල තණකොළ කන පුශ්ටිමත් හරකුන්, මුවන්, බැටළුවන්, අශ්වයන් ස්විට්zසර්ලන්තයේ මා සංචාරය කරන ලද "නෙස්ලවු" (ශාන්ත ගාලන්) ප්‍රදේශයේ සුලභ දසුනක් වෙනවා......








ගෘහ නිර්මාණය ගැන කථා කරන විට සීතලට ඔරොත්තු දෙන පරිදි මෙහි ලී වලින් නිවාස තනා තිබෙනවා... බොහෝ විට ඒවා උල් සහිත හැඩයක් ගන්නවා.....ගිම්හාන කාලයට තම නිවාස වල ජනේල අලංකාර මල් වලින් සැරසීම ස්විස් වැසියන්ගේ ප්‍රධාන විනෝදාංශයක්.
























ගිම්හාන කාලය අවසන් වී හේමන්තය ආරම්භ කරන ඔක්තෝබර් මාසය පමණ වන විට මුළු පරිසරයම අලංකාර වර්ණ වලින් හැඩ ගැන්වෙනවා......











ගිම්හාන කාලයේ කොළ සහ නිලෙන් වැසී, හේමන්තයේදී කහ සහ දළු පාටින් සැරසෙන පරිසරය ඊ ළඟට සැරසෙන්නේ සුදු පාටටයි.....














ස්විට්Zසර්ලන්තයේදී මා සිත් ගත් ගැමි පරිසරය සහ ගැමි දරුවන් සම්ප්‍රාධායික ස්විස් ඇඳුම් පැලැඳුම් වලින් සැරසී සිටින ආකාරය .....









ගැමි උනත් නවීන විලාසිතා වලටත් මේ දරුවන් හුරුයි....


මා නැවතී සිටි "නෙස්ලවු" ගම්මානය ඈතට දිස් වෙන අයුරු.....


අවසාන වශයෙන් සිතේ ඇඳුනු ලස්සනම ලස්සනම කඳු පංති කිහිපයක් ඔබට ඉදිරිපත් කරමින් මේ ලිපිය අවසාන කරන්නම්.....