Showing posts with label ක්‍රීඩා. Show all posts
Showing posts with label ක්‍රීඩා. Show all posts
ශශී

මැච් යන අස්සෙ මතක් උනේ බං අපි කාලෙකට කලින් ගත්තු ආතල් එකක්... ඔන්න එව්වනෙ ආතල්. ඒ මීට අවුරුදු 2,3 කලින් කියපල්ලකො... ෆයිනල් මැච් එකක් . තිබ්බෙ එංගලන්තෙ... හෙන ගේමක් දීල ෆයිනල් ආවෙ අපියි ඉන්දියාවයි.... මං හිතන්නෙ ලොකු කප් එකක් ටීම් 7, 8 ක් ගහපු. ඉතාලියෙ ඉන්න අපේ යාළුවො සෙට් එකක් ගියා එංගලන්තෙට ෆයිනල් එක බලන්න... මාර සෙනඟ.. ඉන්දියන් කාරයො වැහි වැහැලා.....අපේ උනුත් හොඳට හිටියා.. ඔන්න දැන් මැච් එක යනවා. අපේ උන් තමා මුලින්ම ගැහුවෙ.... මැච් එක එහෙටත් නෑ මෙහෙටත් නෑ.... ඒ අතරෙ මචං නිකන් කොටි වගේ සෙට් එකකුත් හිටියා හැබැයි කොඩි නම් එළියට ගත්තෙ නෑ.. මොකද තාම මැච් එක දිනන්නෙ කවුද කියලා නිනව්වක් නෑනෙ. අපිත් ඇහැ ගහගෙන හිටියෙ. දැන් අන්තිම ඕවර් ටික යන්නෙ ... මාර උණුසුම් ගේම. පපුවෙ අමාරු කාරයෙක් හිටියා නම් එතනම තොළොංචි වෙනවා. කොහොම කොහොම හරි බං අන්තිම ඕවරේට ලකුණු 8 ක් උන්ට ඕනෙ උනා. එක විකට් එකයි තිබ්බෙ.... දැන් දෙන්න කොට කොට ඉන්නවා.... මචන් දැන් අන්තිම බෝල් තුන. තුනට හතරයි ..... දැම්ම ඊළඟ බෝලෙ.... අරූ ඉස්සරහට පැනල ඇරල දැම්මා බං උඩින්ම අපි හිතුවෙම 6ක් කියලා .....අපේ එකෙක් 6 සීමාව ඔන්න මෙන්න තියෙද්දි ඇල්ලුවා බං කැච් එක.
අපි හූ තියලා නටලා පිස්සු කෙළලා...මාර පන් එකක් ගත්ත ඩෝ. කොටින්ම කෝලියා අවුට් වෙච්චි වෙලේ තියපු හූ කන්දරාව ඇහුනනම් ඒකා පොළොවෙ පස් කනවා. කොඩි ටිකත් කරේ දාගෙන අපි ගියා එක්සිට් ඩෝර් එක ගාවට. මොකද කොහෙන් ගියත් ගල්කන්ද හන්දියෙන් යන්න එපෑ වගේ ඕන එකෙක් යන්න ඕනෙ මේ දොරෙන්නෙ. අපි රැකගෙන හිටියා කොටි ටික එනකන්.. උන් මැච් එක වෙලාවෙත් අපිට රව රව හිටියෙ. එකා දෙන්න එද්දි අපිත් ඈතට ගිහින් (අපෙත් හිටියා සෙට් එකේ බර ගානක් ) බලගෙන හිටිය නැකත එනකන්... බියර් එහෙම ටිකක් වැඩියෙන් බීල සූර් වෙලා තිබ්බ ප්‍රදියා සිකරට් බොන්න ගෙනාපු ලයිටරෙත් අතට අරගෙන උන් දිහාට දිව්වෙ අළුගුත්තේරු හු*** පු*** තොපිට හොඳ පාඩමක් උගන්නන්නම් කියාගෙනම.. දුවලා ගිහින් එකෙක්ගෙ අතින් කොඩි හතරක් පහක් ඇදලා අරගෙන මූ එක සීරුවටම කොඩි ඔක්කොටම ගිනි තිබ්බෙ නැතැයි...
එට පස්සෙ බං කොළ පාට ලේසර් ජැකට් දා ගත්තු එංගලන්ත පොළිස්කරයො ඇවිත් වළිය එහෙම බේරලා දෙගොල්ලන්ව දෙපැත්තට යැව්වා... අපි කොහොම ගැහිල්ලක් උන්ට ගැහුවද කියනවනම් උන් ව අහකට එක්කගෙන ගියේ පොලිස් ආරක්ශවෙන් අපෙ හූ හඬ මැද්දෙ.
හෙන ආතල් බං. අපි ගියා ඊට පස්සෙ වාහන පාර්ක් එක ගාවට. BMW, AUDI, RANGE-ROWER, BENZ වල ආපු පට්ට සල්ලිකාර ඉන්දියන් කාරයො යනවා අපිව දැකලා මුණු සත පහ කරගෙන. උන්ගෙ නිළියො වගේ වයිෆ්ලා, දුවලා නිකන් යනවා ක්‍රිකට් කියන්නෙ මොනාද කියල නොදන්නවා වගේ. අපි එකම හූවයි බං. අපි උන්ට කරදර කළේ නෑ අපේ ආතල් එක අපි ගත්තා.... උන් වාහන වල නැඟලා අපිව පාස් කරන් යද්දි පොඩි හූවක් විතරක් තිබ්බා.
ඉතාලියෙන් ගෙනිච්ච වයින් සමහරු බීල.. සමහරු බීල තියෙන්නෙ අදමයි.... උන් පාර්ක් එකේ ගස් වලට හැංඟිල කබරයා දානවා.. සමහරු ගස් වලට මුවා වෙලා ගංජා ගහනවා.... මෙච්චර වෙලා පපර බෑන්ඩ් එකට සික්ස් එයිට් කියපු සිංදු ටික, ගංජා ගහපු උන් ආවට පස්සෙ විරහ ගීත උනා.. 


ළා සඳ පළුව ඇවිත්
විල් ගිර මුඳුනින් 
රන්තරු මාල බැඳන් 
රන්වන් අහසින් 
අද හොඳම දවස 
අද හොඳම දවස 
ඔබ එනවා නම්..........

 ඊට පස්සෙ බං 

මන්දාරම් අඳුර මැඳින්
හිරිපොද වැහි වැටෙන වෙලේ
මා හා ඇවිදන් යන්නට 
ඔබ හිටියා නම් 
ඔබ හිටියා නම් 

තව මං මුලාවී, සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා, දිනෙක හිරු බැසයන වෙලාවක, රෑ දුරු රට මේ, ඈත දුරක දෑස පාවෙලා, රන් තාරකාවන් දිලෙන රැයේ, එතකොට ක්ලැරන්ස්ලගෙ, කපුගේලගෙ, මිලටන් ලගෙ පට්ටම සිංදු ටිකක් ගැහුවා බං.


මචං ඒ අමුතු හීතලක් තිබ්බ ඒ රෑ කොල්ලො සෙට් පිටින් එකතු වෙලා පාර්ක් එකේ මැච් එක දිනපු කික් එකත් එක්ක විරහ ගීතයක් කියද්දි පට්ටම ආතල් බං. මෙහෙම කිව්වට වැඩක් නෑ. ඒක විඳලම බලන්න ඕනෙ.

ඔන්න කරුමෙට බං ඔතනින් යන්න ආව කොටි වගේ ටී ශර්ට් ඇඳ ගත්තු සෙට් එකක්. මැච් එක දින්නහම බං කික් එකනෙ කොහොමත්. ඊටත් වඩා මේ ලේසි මැච් එකක්යැ. අන්තිම ෆයිනල් එකක්නෙ.. අනිත් එක ගැහුවෙ ඉන්දියාවටනෙ. ඉතින් කික් එක ට්‍රිපල්. උන්ට වැඩේ දෙමු කියලා කට්ටිය කථා උනා. උන්ගෙත් හීට්යා හෙන සෙට් එකක්... අපේ උනුත් ඉන්නවා දැන් එකම වළියයි. ගුටි කෑවත් රිදෙන්නෙ නෑනෙ බං ඒ වෙලාවට මැච් එකේ කික් එකෙ හින්දා..... මචන් එක පාරටම පොළිසියෙන් ඇවිත් බැටං පොළු අරගෙන "ලාවුස් මාම කෙවිටෙන් හරක්ට තළනවා වගේ" අපිට තලාගෙන තලාගෙන ගියා.. රෑ හින්දා හොයන්නත් බෑ.
මට මචං යාන්තමට මතකයි මගෙ ඔළුවට හෙන බරට මොකක්ද වැදුනා වැදුනා වගේ....සිහිය ඇවිත් බලන කොට මම හිටියෙ කළුවර කාමරේක.. ඔළුව හෙන බරයි. ඇස් කරකද්දි නලලෙ ඉඳන් රිදෙනවා. හෙන කළුවර හින්දා විනාඩි 20 ක් විතර කළුවරට ඇහැ හුරු වෙනකන් හිටියා.. මට එහා පැත්තෙ තව එකෙක් හතර ගාතෙ දාල වැටිලා ඉන්නවා ඇඳක් උඩ. මාත් හිටියෙ ඇඳක් වගේ එකක් උඩ. මම උඩට ඇ
න් හිටපු ශ්‍රී ලංකා කියල ගහපු බැනියම නෑ. කොට කළිසමක් විතරයි තියෙන්නෙ. මට එහා පැත්තෙ ඇඳේ ඉන්න එකාගෙත් එහෙමයි කොට කළිසම විතරයි.... හැබැයි ඌ ගොරෝ ගොරෝ බුදි වගේ.
මට මචං මෙහෙම කරද්දි සිද්ධිය මීටර් උනා. එංගලන්ත පොලිස් කාරයො අපිට ගහලා සිහි නැති වෙනකන්.. අපිව අරගෙන ඇවිත් හිරේට දාලා. අපි ඇඳන් උන්නු ඇඳුම් ගලවලා අපිට හිරේට අඳින පිජාමා කොට කලිසම් අන්දලා...ඔහොම ටික වෙලාවක් හිටියා.... වතුරත් තිබහයි...... ආයෙත් නිකන් මට ලාවට වගේ නින්දෙන් සද්දයක් ඇහුන ඒලාම් එකක් ගහනවා වගේ....මාව ඇහැරුණා ඒ සද්දෙට... දැන්නම් ටිකක් එළියයි. එහා පැත්තෙ එකත් නැඟිට්ටා... අම්මේ මාර සංතෝසයක් බන් එවෙලෙ මට ආවෙ... ඌ ඉතාලියෙ මාත් එක්ක එකම කාමරේ ඉන්න එකා... ඉතින් සන්තෝස නැද්ද.. හිරේ ගියත් එකටනෙ බන්.
අරූ දැන් නැඟිටලා බුරුසු, අරන් තුවා අරන් මූණ හෝදන්න යන්න ලැහැස්ති වෙනවා.... මම නින්දෙන්ම ඇහුවා 

මචන් පොළෝසියෙන් බුරුසු, තුවා එහෙම දුන්නද කියලා. අරූ ඇහුවා
මොන පොළිසියෙන්ද?
ඇයි බං එංගලන්තෙ පොලිසියෙන්
මොන එංගලන්තෙද බන්?
ඇයි බන් අපි මේ කොහෙද ඉන්නෙ?
මේ ඉන්නෙ අපි වෙනදා හිටපු කාමරේ
එතකොට ඇපි ඊයෙ මැච් එක බලන්න එංගලන්තෙ ගියේ.. අපි දින්නෙ බං...අපි කොටි කොඩි වලට ගින්දර තිබ්බෙ.... අපි සිංදු කිව්වෙ .. පොලීසියෙන් අපිට ගැහුවෙ?
හු*** කතා කරන්න එපා මැච් එක ගැන ඊයෙත් අපි පරාදයි..කැ* දෝණියා අන්තිම ඕවරේට ලකුණු පහළොවක් ගහන්න තිබිලා ගැහුවනෙ ......උඹට එකපාරටම නිදිමතයි කියලා නින්ද ගියානෙ.
හුටා එතකොට මම දැක්කෙ හීනයක්ද?


ඒත් බං ඉහේ කෙස් ගානට හීන පෙනිලා තියෙනවා . මේ වගේ කික් එකක් තියෙන හීනයක් අම්මා මුත්තා කාලෙක දැක්කෙ නෑ.. ඒ වගේ හීන පේන්නත් පිං කරන ඕනෙ බොලව්. ඔක්කොවන්ටම වැඩියෙන්ම වටින්නෙ බං ෆයිනල් එකක් දිනන ආතල් එක හීනෙන් හරි ගත්තු එකනෙ.

ශශී

මගේ මිතුරෙක් ක්‍රිකට් වලට තදින් ඇබ්බැහි වී සිටියේය.ලසිත් මාලිංග යනු ඔහුගේ ප්‍රියතම ක්‍රීඩයා විය. මැච් තිබෙන දවසට පාසල් ද නො එන තරමට ඔහු ක්‍රිකට් උන්මත්තකයෙක් විය....ඔහුගේ පියාද මැච් තිබෙන දවසට ඔෆිස් නොයයි. දින තුනකට පමණ කලින් ඔහු තදබල ලෙස අසනීප වී ඇත. ඔෆිස් නොයා ගෙදරට වී සිටි ඔහු හරි හැටි කෑමක් බීමක් පවා නොගත් බව ඔහුගේ මව මට පැවසුවාය. දැන් ඔහුගේ තත්වය ටිකක් යහපත් අතට හැරී ඇති බැවින් මට ඔහු හා සමඟ කතා කිරීමට ලැබුනි. 
      ඔහුට අසනීප වී ඇත්තේ ලසිත් මාලිංග මාධ්යයට බණ වැදීමෙන් අනතුරුවය. ඔහුට ක්‍රිකට් එපා වී ගොස් ඇත. තම පියාට 2011 ලෝක කුසලානය අවසානයේ හාර්ට් ඇටෑක් සෑදෙන තරමටම අමාරු වූ බවද, තමා ද  එම තත්වයටම කලින් ක්‍රිකට් බැලීම නතර කරන බවද ඔහු මා සමඟ පැවසීය. කිසිම ක්‍රීඩකයෙක් මින් පසු තමන්ගෙ ප්‍රියතම ක්‍රීඩකයන් බවට පත් කර නොගන්නා බවද , මැච් බැලීමට නොයන වගද, කීයයි කිව්වත් චියර් නොකරන බවද මා සමඟ පැවසෙය. තව සති දෙක තුනක් ඉවසමු යැයි මම යෝජනා කළත් ඔහුගේ දැඩි ස්ථාවරය වෙනස් කිරීමට මට නොහැකි විය.....ලසිත් මාලිංගට තමන් වයිර නොකරන බවද, මාලිංගට වයිර කරන අයට වයිර නොකරන බවද ඔහු මට පැවසීය. අවසාන වශයෙන් තමන් ලෙඩ ඇඳට වී සිටියදී  ලියන ලද ගීතයක් මට එවන ලදි...ඔහුට උපහාර පිණිස මෙය මෙහි පළ කරමි.


සිත ඔබට මුවා වී ඉකි බිඳිනා
නුඹ අයි පී එල් හා සුව විඳිනා
ක්‍රිකට් ලොවේ.... දොර කවුළු වැසේ
සිත ඉකි ගසමින් හඬන හැටී
නුඹ ලීග් සොයා ගිය දා ඉඳලා.....

1) සිත ඉවසන්නෑ අත්සන් කෙරුවත්
දුක අඩුවී නෑ කොච්චර බිව්වත්
දැන් යෝ...කර් නෑ
වැඩියෙන් ගෙව්වත් 
නුඹ ලීග් සොයා ගිය දා ඉඳලා....

සිත ඔබට මුවාවී ....

2) ටෙස් මැච් නුඹ නෑ කන්ට්‍රැක් ගැහුවත්
වැඩ පෙන්නන්නෑ හතළිහ දුන්නත්
නුඹ ඉන්...ජඩ් නෑ
පී එල් තිබුනොත් 
නුඹ ලීග් සොයා ගිය දා ඉඳලා......

සිත ඔබට මුවාවී
ශශී

ඉන්ටර්නෙට් එකේ මේ දවස් වල මාලිංගය ව පීචං කරන කෙරිල්ල දැක්කොත් ඒකා ආයෙ සිලෝන් ටීම් එකට ගහයිද කියලා සැකයි...පව් 
පව් කිව්වෙ මාලිංගයට හෙම නෙමේ.. මට නම් ගොඩාක් පව් කියලා හිතුනෙ ජනතාව... ඉන්ටනෙට් පාවිච්චි කරන ජනතාවගෙන් 95% ක් විතර හිතාගෙන ඉඳලා තියෙන්නෙ ටීම් එකේ උන් සෙල්ලම් කරන්නෙ රට වෙනුවෙන් කියලා .....උන්ට පව්.. ටීම් එකේ උන් රටට ආදරෙන් උන්ගෙ රස්සාව කරන එක ඇත්ත.. රට දිනවන්න ෆුල් ට්‍රයි එක දෙන එකත් ඇත්ත..... ඒත් රට වෙනුවෙන් සෙල්ලම් කරන්නෙ නෑ....
                           මිනිස්සුන්ගෙ ගොඩාක් හිත රිදෙන්න හේතුවක් තමයි ඔය විදිහට හිතාගෙන ඉඳල තියෙන එක. 
    මේ මාර්තු මාසෙ .. 1996 මාර්තු මාසෙ ලංකාව වල්ඩ් කප් එක දිනලා අවුරුදු 17 ක් වෙන්න ඇවිත්.....මට මතකයි ඒ දවස අද වගේ... මම 6 වසරෙ . කවදාවත් ගෙදර සුරුවම් කූඩුවට පහනක් පත්තු නොකරපු අපේ තාත්තා පළවෙනි වතාවට මේ මැච් එක කොහොම හරි දිනන්න කියලා දෙයියො ඉස්සරහ පහනක් පත්තු කළා. අද මාලිංගයට බනින මිනිස්සුයි, එදා අපේ තාත්තයි දෙගොල්ලොම අහිංසක ක්‍රිකට් ලෝලියො.... මැච් එකක් දින්නොත්  ෆේස්බුක් ඇවිත් දේශ්ප්‍රේමී සටන් පාඨ කිය කිය ෆොටෝ ශෙයා කරන්න, ලෝකෙට පේන්න උන්ට චියර් කරන්න තරම් හැකියාවක් නැති අපේ තාත්තලා වගේ මිනිස්සු , කුලී වැඩ කරන මිනිස්සු, මාළු අල්ලන මිනිස්සු, කළු ගල් තලන මිනිස්සු ඒ ගොල්ලන්ගෙ සතුට සමරන්නෙ රතිඤ්ඤයක් පත්තු කරලා, ගෙදරට චයිනීස් බත් එකක් ගෙනල්ලා....ඒ දුප්පත් මිනිස්සු දන්නෙ මාලිංගයලා මාසෙට ලක්ශ 40 ක් නැතුව රිකට් ගහන්න බෑ කියනවා කියලා විතරයි...දවසකට රුපියල් 400 ක් අමාරුවෙන් හම්බ කරන ගොඩක් දුප්පත් එවුන් ලක්ශ 40 ට ඊරිශියා නොකරන එවුන් බව මම අත්දැකීමන් දන්නවා.... 
       මාලිංගයට පක්ශව කථා කරම එවුන්ගෙ විරෝදය කෙලින්ම එල්ලෙ වෙන්නෙ මාධ්‍යයට ...... දේශපාලකයො ජඩ වැඩ කරන කොට මෙවුන් හිටියෙ කොහේද ?... උන් හොරකන් කරන කොට කට වහගෙන හිටිය උන් දැන් මාලිංගයගෙ වචනයක් අල්ලගෙන ඌව පට්ට ගහනවා කියනවා.... ඇත්ත තමයි බං..... ඔය දේශපාලනේ හින්දම තමා මාලිංගයගෙ වචන වලින් අපේ උන් නැට්ටටම හිත් රිද්දගන්නෙ... ඒ කියන්නෙ අද වෙනකොට රටේ මිනිස්සුන්ගෙන 100% කටම දේශපාලනය තිත්ත වෙලා... රටේ තියෙන ප්‍රශ්ණ වලින් හෙම්බත් වෙලා, මිරිකිලා උන් සතුටක් හොයා ගෙන, රට වෙනුවෙන් කියලා සතුටු වෙන එකම දේ තමා ක්‍රිකට්.. දේශපාලකයා සහ ක්‍රිකට් ක්‍රිඩකයා කියන්නෙ ජනතාවගෙ පැත්තෙන් බැලුවහම යකෙකුයි දෙවියෙකුයි වගේ... ඉතින් දේශපාලකයා කියන එකා කරන කියන කිසිම දෙයකින් ජනතාව තමන්ගෙ හිත රිද්දගන්නෙ නැති තරමට ජනතාව හිත් ගල් කරගෙන..... ඒත් මේ වගේ ආදරේ කරන ක්‍රිකට් ක්‍රීඩකයෙක් මෙහෙම  දෙයක් කිව්වොත් මිනිස්සු පුදුම විදිහට කඩා වැටෙනවා... ඒකයි බං දේශපාලකයන් කරන වැරදි වලත් වැඩිය මේ වැරැද්ද මිනිස්සුන්ට පේන්නෙ......
ගමෙන් ඇවිල්ලා වැඩ පෙන්නලා, මිනිස්සු හිතාගෙන උන්නු ඒ දුප්පත් පන්තියෙ ක්‍රීඩකයා සුණු විසුණු වෙලා ගිය එක මිනිස්සුන්ට මාර හිතට අමාරුයි
මිනිස්සු හිතාගෙන උන්නු පීඩිත පන්තියෙ ක්‍රීඩකයෙක් වෙනුවට ධනවාදී ක්‍රීඩකයෙක් නිර්මාණය වෙනවා...
අර බඩ මහත , රට කන , තමන් ගැන විතරක්ම හිතන දේශ්පාලකයොයි මුන්ගෙයි වෙනසක් නෑ කියලා මිනිස්සු බය වෙනවා.. ඒ බයටයි මිනිස්සු මෙච්චර කෑ ගහන්නෙ  ...මිනිස්සුන්ට ඕනෙ , මිනිස්සු බලාපොරොත්ටු වෙන්නෙ හැමදාම අර පීඩිත පන්තියෙ ක්‍රීඩකයා... එතකොට පොඩි හැඟීමක් ත්යෙනවා මූ අපේ එකෙක් කියන එක...
සති දෙකක් යනකන් උන්ගෙ ෆෑන් පේජ් වල කුණුහරුපෙන් බනිනවා, ලයික්, කොමෙන්ටු දාන්නෙ නෑ.. මැච් බලන්න යන කට්ටිය අඩු වෙනවා.....
 ඊට පස්සෙ ආයෙත් ටිකෙන් ටික අපේ මිනිස්සුන්ට මේ දේවල් අමතක වෙලා යනවා... මාලිංගයලා හොඳට ක්‍රිකට් ගහයි.අපේ උන් චීයර් දායි.. ෆේස් බුක්වල "ප්‍රවුඩ් ටු බී අ ශ්‍රී ලාංකන්" කියලා ෆොටෝස් ශෙයා කරයි, මැච් බලන්න සෙනඟත් ඉඳීයී, දුප්පත් මිනිස්සු රතිඤ්ඤා පත්තු කරයි.....චයිනීස් බත් කයි......බලද්දි දෙපැත්ත තුන් පැත්තම සාධාරණයි........හොඳම දේ බං රට වෙනුවෙන් තමන් කරන දේ කරනවා මිසක් , අනුන් රට වෙනුවෙන් මොනද කරන්නෙ කියලා හොයන එක නෙමේ.
ශශී

මේ දවස් ටිකේ යුරෝපෙ තිබුණු ෆුට් බෝල් උණුසුමක් එක්ක කථා බහට ලක් වුණු ප්‍රධාන චරිතයක් තමා "මාරියෝ බලොතෙල්ලි" කියන්නෙ.  ඔහු නියෝජනය කළේ ඉතාලි කණ්ඩායමයි. විශේශත්වය වන්නෙ ඔහු ඉතාලි ජාතික කණ්ඩායම නියෝජනය කරපු පළමු කළු ජාතිකයා වීම.
       අවුරුදු 22 ක් පමණ වන උස අඩි 6 යි අඟල් 4 වුණු, සුවිශේශ කොණ්ඩ මෝස්තරයකට හිමිකම් කියන මේ ක්‍රීඩකයා  
මුළු තරඟාවලිය පුරාම ඉතාලි කණ්ඩායම වෙනුවෙන් වැඩිම ගෝල සංක්‍යාවක් ලබා ගත් ක්‍රීඩකයා ද වෙනවා. පැහැදිලිවම ඉතාලි කණ්ඩායමේ සුපිරි තරුව උනේ මේ මාරියෝ කියන ක්‍රීඩකයා බව අවිවාදිතයි.
         ඇත්තටම මේ ක්‍රීඩකයාගෙ අතීතය ගැන කළොත් මොහුව ඉතාලි ජාතික යුවළක් දරු කමට හදා ගත් ළමයෙක්. ඝානා රටේ කළු දෙමව්පියන්ට දාව ඉපදුනු මාරියෝ ආර්ථික අපහසුතා නිසා ඉතාලි "බලොතෙල්ලි" යුවල දරුකමට හදාගැනීමට බාර ගන්නවා. මොහුගේ මුල් නම වෙනස් කරමින් ඉතාලි නමක් වන මාරියෝ යන්නත්, වාසගම ලෙස බලොතෙල්ලි යන්නත් තැබෙනවා...
   පාපන්දු ක්‍රීඩාවට සුපිරි දස්කම් දක්වපු මේ ක්‍රීඩකයා21 න් පහළ ඉතාලි ජාතික කණ්ඩායම නියෝජනය කර පසුව ඉතාලි ජාතික කණ්ඩායමට එක් වීමේ භග්‍යය ලබනවා. කිසිම කළු ජාතික නියෝජනයක් නොතිබුනු ඉතලි ජාතික කණ්ඩායමට එක් වන පළමු කළු ජාතිකයා වීමේ භාග්‍යය ඔහුට ලැබෙනවා..
   2012 යුරෝපා කුසලානයේදී ඔහු සුපිරි දස්කම් දැක්වීමත් සමඟම ඉතාලිය පුරා බලොතෙල්ලි උන්මාදයක් හට ගැනුනා. අවසාන පූර්ව තරඟය තෙක්ම ඉතාලි කණ්ඩායම ඉදිරියට ඒමට මේ ක්‍රීඩකයාගෙ සුපිරි  දස්කම් විශාල රුකුලක් උනා. අවසාන පූර්ව තරඟය සඳහා ඉතාලිය සහ ප්‍රභල ජර්මනිය තරඟ වැදුනු අතර බොහෝ දෙනා( ඉතාලි ජාතිකයන් ) පවා සිතුවේ තරඟය ජර්මනිය ජය ගනු ඇති බවයි. නමුත් තරඟය උඩු යටි කුරු කරමින් මාරියෝ ලබා ගත් ගෝල දෙක නිසා ස්පාඤ්ඤය සමඟ අවසන් තරඟයට පිවිසීමට ඉතාලියට හැකි උනා. ජර්මනිය සමඟ පැවති තරඟය අවසන් වීමෙන් පසු බලොතෙල්ලි ඉතාලිය පුරාවටම සුපිරි වීරයෙක් බවට පත් උනා.
   මෙම චායාරූපයෙන් දැක්වෙන්නේ මාරියෝ තමන්ගෙ ටී ශර්ට් එකේ පවා මුද්‍රණ කරගෙන සිටින තමන්ගෙ ප්‍රියතම කියමන වෙන "WHY ALWAYS ME  " යන්න ඉතාලියේ බස් රථයක සටහන් වී තිබෙන ආකරයයි.
පහත දැක්වෙන්නේ ඉතාලියේ වෙරෝනා නගරය ආසන්නයේ පුද්ගලයෙක් තමන්ගේ ගොවි පළෙහි මාරියෝ ගේ සුවිශේශ කොණ්ඩා මෝස්තරයට අනුකූලව  වගා බිමක් සකස් කර ඇති ආකරයයි.

දෑසට කඳුළු නැඟෙන තවත් පින්තූරයක්... මෙහි දැක්වෙන්නේ ජර්මනිය සමඟ පැවති තරඟය ජය ගැනීමෙන් අනතුරුව තමාව හදා වඩා ගත් ඉතාලි ජාතික මව වැළඳ ගන්නා ආකරයයි. මේ අවස්ථාවේදී මාරියෝ පවසා ඇත්තේ මේ සියළු ගෝල ඔබ සඳහා බවයි.
මාරියෝ බලොතෙල්ලි හැඳින්වීම සඳහා ඉතාලි පාප්න්දු රසිකයන්  භාවිතා කළ සුරතල් නාමය වන " සුපර් මාරියෝ" යන්න තවත් බස් රථයක සටහන් වී තිබුණු අයුරු
අවසාන වශයෙන් මේ තරුණ ක්‍රීඩකයාට ඉතාලි කණ්ඩායම සමඟ දිගු ගමනක් යන්නට අපි ආසිරි පතමු. ජාතිවාදය පසෙකලා සුදුස්සන්ට සුදුසු තැන දුන් ඉතාලි පාපන්දු බලධාරීන්ටද පාපන්දු රසිකයන්ගේ ගෞරව ස්තුතිය හිමි විය යුතුය.
ශශී

නින්ද එන්නෙත් නෑ....මුළු රෑම.... හිත හැදෙන එක එක දේවල් ෆේස්බුක් ස්ටේටස් වලට දාලා හිත හදා ගන්න හැදුවත් හිත හදා ගන්න බෑ...ඒවා දැකලා මම ඉන්නෙ ෆිට් එකේ කියලා කට්ටිය හිතුවට හදවත පිච්චෙන තරම දන්නෙ මම විතරයි...
         ඇයි දෙයියනේ මෙහෙම උනේ?
                අපි ලෝක කුසලානය ගන්න කොච්චර කට්ටක් කෑවද? අන්තිම මොහොත වෙනකන් තියාගෙන උන්නු බලාපොරොත්තු ගොන්න......කොහොම උනත් කප් එක අපිට අහිමි උනා.
ඒ දැනෙන හිත් වේදනාව හරියටම ආදරයක් නැති උනා වගේ.
              මතුපිටින් කොච්චර ෆිට් එකේ ඉන්නවා කියල පෙන්නන්න හැදුවට බෑ. හදවත වාවන්නෙ නෑ..අමතක කරන්න බෑ. තනි වෙච්චි ගමන්ම ඒ වේදනාව ආයෙත් උඩට එනවා. හිත හයිය කරගෙන නිදා ගන්න හැදුවත් නින්ද යන්නෙත් නෑ. ඒක ගැනම එක එක දේවල් ලිය ලිය ස්ටේටස් අප්ඩේට් කර කර හිත රවට්ට ගන්නවා.. හරියටම ආදරේ වගේමයි.
                    ආදරේ කරද්දි අපිට මූණ දෙන්න වෙන අභියෝග, බාධක වගේ, ක්වාට(ර්‍) ෆයිනල් වලින් එතකොට සෙමි ෆයිනල් වලින් දිනලා (ඒවා දිනන්නෙ නැතුව මුලින්ම කැපුනා නම් හිතේ මෙච්චර දුකක් නෑ) බලාපොරොත්තුව ලඟටම ඇවිල්ලා එකපාරටම ඒක සුන් වෙන එක පුදුමාකාර වේදනයි.
          පරණ සුන්දර මතක සටහන් ඒ කියන්නෙ අපි ඉන්දියාවට මීට කලින් ගහපුවා බල බල හිත හදා ගන්නවා.
   ඔන්ලයින් හිටියත් ඕෆ්ලයින් දාගෙනම ඉන්නවා මිසක් කා එක්කවත් කතා කරන්නවත් හිතේ හයියක් නෑ. වෙන වැඩක් කරන්න හිත දෙන්නෙත් නෑ....ඒ විතරක් නෙමේ ඒ ගැන කවිත් ලියවෙනවා....
         සමහර වෙලාවට මෙදාපාර එක නැති උනේ හොඳකට වෙන්නැති. ඊලඟ එක නම් කොහොම හරි හිමි කරගන්නවා,  කරගන්නවාමයි..ඒත් වැඩියෙන්ම හිතට දුක ගව් ගානක් දුර ඉන්න වෙන එකෙකුට මේක හිමිවෙන්නෙ නැතුව ලඟම ඉන්න එකාට මගෙන් අහිමි වෙච්චි එක ලැබුනු එකයි.
                      ''පාළු මඳ නළට ළං වෙලා නින්ද මා කරා එන්නෙ නෑ
                       හදවතින් දැවි දැවී රැය පුරා නිදි දෙව් ලොවට  ළං වෙන්න බෑ
                       නුඹ මතකයෙන් ගිලිහෙනා තත්පරයක් ඇත්තෙ නෑ
                       නුඹව මට නොලැබෙනා ලොවක ජීවත් වෙන්න බෑ''