Showing posts with label ආදරය. Show all posts
Showing posts with label ආදරය. Show all posts
ශශී



ඔන්න ඉතිං ආයෙත් සීත කාලෙ ඇවිත්. තව ටික දවසකින් හිම වැටෙන්න පටන් ගනීයී.
ලංකාවට හිම වැටෙන්නෙ නැතත් දැන් ලංකාවෙ ඉන්න යාළුවන්ට ෆේස්බුක් වලින් හිම බලන්න පුළුවන්. හොඳම ක්‍රමේ තමා ළඟදි යුරෝපෙට ආව 7,8 දෙනෙක් ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ඉන්න එක. 
හිම වලට කෝඩු කාරයෙක් නම් ඒ පළවෙනි අවුරුද්දෙ හිම වැටෙන කන් බලන් ඉන්නව ඉතිං කොහොම හරි ෆොටෝ එකක් ගහ ගන්න. ඉතිං හිම වැටෙද්දි කැමරාවක් අටවගෙන තකහනියක් යනවා ෆොටෝ ගහන්න. එතකොට සෙල්සියස් අංශක බිංදුවට රින එකට විතර තියෙන හිංදා අනිවාර්‍යයෙන්ම අත් මේස් දාන්න වෙනවා. ඉතිං අත් මේසුත් දාගෙන කොහොමද කැමරාවෙ බට්න් ආම් බාං කරන්නෙ. ඒ හිංදා අත් මේසුත් ගලවගෙන හීතලේ ඇඟිලි පුපුරු ගහද්දි කොහොම හරි කට්ට ගහලා ලස්සන ෆොටෝ එකක් ගහ ගන්නවා.




 ෆේස්බුක් එහෙම දාන්න පුළුවන්නෙ. කිව්වට මොකද මේ උඩ තියෙන ෆොටෝ එකත් මම ගහගත්තෙ ඒ විදිහට තමා....
ඊළඟට දෙවෙනි අවුරුද්ද විතර වෙනකොට හිම වැටෙද්දි අර තරම්ම උනන්දුවක් නැති උනත් ආයෙත් යනවා කැමරාව අටෝගෙන එහෙම ෆොටෝ ගහන්න . (අච්චරම ෆොටෝ ගැහුවෙ නැතත්) පළවෙනි අවුරුද්ද තරම්ම කාලය නාස්ති කරන්නෙ නෑ. ඒත් හිම වැටෙනකන් බලන් ඉන්නවා. 
තුන් වෙනි අවුරුද්ද විතර වෙන කොට ඔන්න හිම වැටෙන කාලෙට ෆොටෝ ගැහිල්ලනම් නවතිනවා. ඒත් කොහෙ හරි යමින් ගමන ෆෝන් එකේ කැමරාවෙන් ෆොටෝ එකක් ගන්නවා. හිම ගැන එච්චරම උනන්දුවක් නෑ. ඒත් වැටෙද්දි ආසයි.
හතර වෙනි අවුරුද්දෙ හිම වැටෙන කොට ගානක්ම නැති වෙලා. දැන්නම් හිම වැටුනත් එකයි, නැතත් එකයි කියලා හිතාගෙන පාරෙ හිම ෆොටෝ ගහන එවුන්ට යටි හිතින් හිනා වෙවී ඉන්නවා. මොනා උනත් වැටෙන වෙලාවට පොඩ්ඩක් ආතල්.
ඔන්න පස් වෙනි අවුරුද්ද විතර වෙන කොට හිම වැටෙනවා කියලා කාලගුණ නිවේදනයට කියන කොටත් යකා නඟිනවා. වැටෙන වෙලාවට පොඩි කික් එකක් තිබ්බත් මේ මොන රෙද්දක්ද කියලත් හිතෙනවා....

මම ගිය අවුරුද්දෙ හිම වැටෙන වෙලාවක පාර දිගේ ඇවිදන් යද්දි හම්බුනා ලංකාවෙ අංකල් කෙනෙක්. අවුරුදු 25 ක් විතර මෙහෙ ජීවත් වෙච්චි. අවුරුදු 7 කින් ලංකාවට ගිහින් නෑ කිව්වා මොකද දන්නෙ නෑ... මාත් එක්ක කතාවට වැටිලා සිගරට් එකකුයි ලයිටරේකුයි එළියට අරගෙන  බංකුවක ඉඳ ගත්තෙ "හිම වැටෙන වෙලාවට හීතලේම සිගරට් එකක් ගහන එක තරම් සනීපයක් තවත් නෑ" කියලයි..  

හිම වැටිල ඉවර වෙලා යාන්තමට පාවෙන  තුහින වල තෙතමනයත් එක්ක ගින්දර පත්තු කරන්නෙ කොහොමද කියලා මම බලාගෙන හිටියා.... එක පාරයි. සිගරට් එක පත්තු කළා..... සිගරට් බීමටත් අවුරුදු ගානක පළපුරුද්දක් තියෙනවා කියලා මට හිතුනා..
එතකොට මට මතක් උනේ ෆේස් බුක් එකේ ජනප්‍රිය කවිකාරයෙක් වෙච්චි "රුවන් බන්ධුජීව " ලිව්ව කවියක්.

" වීසි කරන්නද මම 
හිම කැටයක් නුඹ දෙසට 
ගල් පොත්ත මත වාඩි වී
සිගරට්ටුවක් උර කොට හවසට...."

ඉතිං මමත් අංකල්ට මේ "හිම වැටීමේ පරිණාමය" පොඩ්ඩක් විග්‍රහ කළා. අංකල් හක හක ගගා හයියෙන් හිනා උනා. ඊට පස්සෙ සැහෙන වෙලාවක් සිගරට් එක උරන ගමන් මොනාදෝ කල්පනා කළා. මට ඒ වෙලාවෙ හිතුන මිනිහට වෙරිද මන්දා කියලත්.
මේ කතාව අහලා අංකල් මරු කතාවක් කිව්ව. විසි පස් වෙනි අවුරුද්ද විතර වෙනකොට "හිම" කියන වචනෙ කියන්න ඕනෙ නැහැලු "හි" යන්න කියන කොටත් කට්ටිය දුවනවලු. 
මේ පාර මම හක හක ගාල හයියෙන් හිනා උනා. 
අන්තිමට අංකල් එයාටම කියා ගත්තෙ "හරියට ආදරේ කියන ඉටිගෙඩිය වගේම තමා කියල"



ශශී

සතියකට සැරයක් විතර තමා මට මෙහෙ ඉඳන් ලංකාවෙ ගෙදරට කථා කරන්න හම්බෙන්නෙ. ගෙදර ඉන්ටර්නෙට් නැති හින්ද ටෙලිෆෝන් එකෙන් තමා කථා කරන්න වෙන්නෙ. ගොඩාක් වෙලාවට කථා කරන්නෙ අම්මා එක්ක විතරයි. එහෙම බැලුවහම තාත්තා එක්ක කථා කරන්න හම්බෙන්නෙ ගොඩාක් කලතුරකින්. එකක් තාත්තා වැඩ ඉවර වෙලා රෑ ගෙදර එන හිංදා... අනිත් එක ඉතින් පිරිමි ළමයින්ට, වැඩිය තාත්තලත් එක්ක කතා කරන්න දේවල් නැහැලුනෙ .. අම්මලත් එක්ක කථා කරන දේවල්ලු  නෙ තියෙන්නෙ. කොහොම හරි අම්මයි, තාත්තයි, නංගීයී තුන් දෙනාටම එක වෙලාවට කථා කරන්න වෙලාවක් හදා ගන්න එක ගොඩාක් අමාරු වැඩක්. ඉරිදට ඒ කට්ටියම ගෙදර හිටියත්, මම ඉරිද මෙහෙ වැඩ හිංද එදාටත් බෑ. 
        ඉතින් ඊයෙ පෙරේදා දවසක කතා කළාම තුන් දෙනාම ගෙදර. හොඳට කථා කරන්න හම්බුනා. අම්මත් එක්ක මුලින්ම කථා කර කර ඉද්දි, ඈතින් මට ඇහුන තාත්ත ඉස්සර වගේම හයියෙන් සිංදුවක කෑල්ලක් කිය කිය හිටියා. මෙහෙටත් මොර සූරන වැස්ස. හරියටම මේ වගේ,  ලංකාවෙ වහිද්දි අපි ඉස්සර බාගෙට හදල තිබුනු ගෙදර, තිබිච්චි එකම කාමරේට  තාත්තා ගාව ගුලි වෙලා, තාත්තා සින්දු කියනවා අහගෙන ඉන්නවා.. ඒ එක්දහස් නවසීය අනූ ගණන් වල මුල් හරියෙ. සමහර දවස් වලට උණු තේ ත් එක්ක අම්මා හැලප එහෙම හදලා තියෙනවා. වැස්ස එක්ක පළාතම කළු කරල ඇඟේ හිරි ගඩු පිපිලා එහෙම එද්දි තාත්තා සිංදු පටන් ගන්නවා.

" දුර ඈත දේශෙන් 
මෙහි ආ දිනේදී
මට දී නවාතැන්
මේ පුංචි කුටියේ.....
මට පෑ ඔබේ ආදරේ.....
නොමැකී තියේ මා හදේ  ........"



ඔය සිංදුව කිය කිය තාත්තා නංගිව හුරතල් කරනවා. එතකොට නංගිට අවුරුදු 3 ක් 4ක් ඇති. මටත් අවුරුදු 8 ක් 9 ක් ඇති..
අදටත් මට මේ සිංදුව කට පාඩම් විතරක් නෙවේ. පස්සෙ කාලෙක මේ සිංදුව තියෙන කැසට් පීස් එක පවා ගෙදර ගෙනත් තියාගෙන ඇහුවා මම. අදටත් තනියම ඉද්දි මම ගොඩාක් රස විඳින සිංදුවක්.  
ඒ එක්කම තාත්තා හැම තිස්සෙම කියන සිංදුවක් තමා

"සඳ කිඳුරු කිඳුරියන්"

කියන සිංදුව. ඒ කාලෙ මාර ජනප්‍රියයි. කොලඹ ඩී අයි ජී තුමා කොල්ලා කාලෙ කියපු සිංදුවක්නෙ.




ඒ වගේ පරණ සිංදු වලින් තව 

"එක යායට මල් පීදුනු බිම් තීරේ
පාර දිගේ කණින් කණට
කොඳුර කොඳුර ඔබයි මමයි විතරයි හිටියේ...."

සිංදුවට තාත්තා ගොඩාක් කැමතීයී. තාත්තා ගොඩාක් වෙලාවට  ඒකත් ලස්සනට කියනවා ඉස්සර.



දවස් දෙකක් විතර තිස්සෙ හොඳට වහිනවා. රස්නෙත් අඩු වෙලා. වටේ පිටේත් කළුවරයි. මෙන්න මේ වගේ වෙලාවට ඇඳ ට වෙලා ඇස් දෙකත් පියාගෙන ඒ ගෙවුණු අතීතයේ සොඳුරු නිමේශයන් සිහි කරනවා රම් රසයක් තවත් නෑ.
ශශී

ගානට රයිම් කරලා
පදත් ලස්සනට ගලපලා
කවිය ලියන්න ලෑස්ති වෙන කොටම
මට කළින්
කවුදෝ එකෙක්
ඒ කවියම ලියලා
එළිසමෙත් නැතුවම
පද ගලපන්නෙත් නැතුවම........


ශශී
නිහඬ අරගලය නුඹ
මුද්‍රා තැබූ හදවතක 
රුදුරු හිරු එළිය නුඹ
නිසල සඳ වත දවන

ඝනාන්දකාරය නුඹ
තරු එළිය විසුනු කළ
රුදුරු ජල තරඟ නුඹ
සිත් ඉවුර දෙකඩ කළ....




ගොම්මන් පාළුව. මුහුදු වෙරළක, විසාල ගස් තියෙන උද්‍යානයක නැත්නම් වැවක් ළඟ පාළුව විඳලා තියෙනවද.... වටේ පිටේ කොච්චර සෙනඟ හිටියත් මේ වගේ තැනක හවස් යාමෙදි තනි උනහම රසම රස පාළුවක් විඳින්න පුළුවන්.
                  මේ තියෙන්නෙ "zසූරිච් සේ" කියන වැව. Zසූරිච් සහ ශාන්ත ගාලන් දිස්ත්‍රික්ක දෙකේ සීමාව වෙන් වෙන ස්ථානයක්. අර ඈත කඳු යාය පේන්නෙ zසූරිච් නගර සීමාවේ. මම දැන් ඉන්නෙ මෙහා සීමාවේ රප(ර්)ස්විල් කියන නගරයේ. හරියට ආදරේ වගේම කියලා හිතෙනවා මට. ඇය එහා කොණේ. මම මෙහා කොණේ. ඒත් මේ වැව කියන සුන්දරම අභියෝගය ජය ගන්න ඕනෙ එහා කොණෙට යන්න නම්............
                        ඒ හැන්දෑව සීතල හවසක්. ගිම්හාන කාලෙ උනාට හීතල පිණි බිංදු ඇඟ දැවටුණු හවසක්. ඇති වෙන්න නෑවා මේ වැවේ. නාල එද්දි ඉරත් බැහැ ගෙන ගිහින් ... ඉර බැහැගෙන යන දිහා මොහොත බලාගෙන ඉඳපු මම මේ වතුරෙ සුවඳයි, මේ ඉර මඬලයි එක්ක පාවෙලා ආවා හදවතින් ලංකාවට....
                        ලංකාවෙ මුහුදු වෙරළක ගොම්මන විඳිනවා වගේම තමයි. ආයෙත් ලංකාවට ඇත්තටම යන්න හිතක් නැද්ද මන්දා මට.  අනේ මන්දා. හිතට එන්නෙ දුක්බරම සිතුවිලි..... මේ වැව ඉවුරෙ ඉඳගෙනම ලිව්ව හිතට ආපු සිතුවිල්ලක්.....                     
ශශී

2009 මැයි මාසෙ 19 වෙනිදා. ඒ දවස ශ්‍රී ලාංකිකයින්ට කවදාවත් අමතක වෙන්නෙ නැති දවසක්. අවුරුදු 30 ක් පුරාවට අපේ රටට වින කරපු යුද්ධය ඉවර වෙලා නිදහසේ  හුස්ම ගන්න පුළුවන් කියන සිතුවිල්ල හදවතට දැනුන ඒ දවස කොහොම අමතක වෙන්නද?
      ඒත් මම මේ ලියන්න යන්නෙ යුද්ධය ගැන නෙමේ. ආදර කථාවක් ගැන. යුද්ධය පිටුපස තිබුණු ආදර කතා අතරින් සුවිශේශීම ආදර කථාවක් ගැන. මාතෘකාව දැක්කහම ගොඩක් අය ඒ කථාව දන්නවත් ඇති.
 හොඳයි, කාලයකට ඉහත 90 දශකයේ පමණ කොටුව පොලිස් ස්ථානයේ සේවය කළා දෙමළ ජාතික පොලිස් නිළදාරියෙක්. එතන සිංහල අය වගේම දෙමළ අයත් ගොඩාක් සේවයේ යෙදිලා හිටියා. මේ තරුණ නිළදාරියා කාලයක් යද්දි ආදරයෙන් බැඳෙනවා එතන සේවය කරන සිංහල ජාතික පොලිස් නිළදාරිණියක් එක්ක. ඒ වෙනකොට යුද්දයේ ගිණි දැල් බිහිසුණු ලෙස මුළු රටම වෙලා ගෙන තිබුනා. උතුරේ තමන්ගෙ ජාතියට වෙන කෙණෙහිළිකම්, දකුණේ තමන්ගෙ ජාතිකයන්ට මුහුණ දෙන්න වෙන කෙණෙහිළිකම් දකින මේ පොලිස් නිළදාරියා බොහෝම හිතේ දුකෙන් තමයි තමන්ගෙ රාජ කාරිය කරන්නෙ. ජාතිවාදී ගිණිදැල් බොහොම උත්සන්න උණු අවස්ථාවක මොහු තමන්ගෙ රස්සාවට ආයුබෝවන් කියලා යනවා උතුරට. ඒ තමන්ගෙ ජාතිය වෙනුවෙන් අරගලයක් කරන්න හිතාගෙන. තමන්ගෙ සිංහල ජාතික පෙම්වතිය ට කරුණු පහදල දීල ගියත්, ටික කාලයකින් හැමදේටම වඩා වටින තමන්ගෙ ආදරය හොයාගෙන මේ සිංහල කෙල්ල උතුරට යනවා...මේ කථාව අපේ සිංහල ගීත රචකයෙක් මෙන්න මෙහෙම ලියනවා.

 "සිංහල සිංදු කියන
 නළලේ තිලක තියෙන කිරිල්ලී
 තුඩින් හදවතක් අරගෙන
 ගිණිගත් තල් අරඹට ආවදෝ ඉගිල්ලී"

තමන් වගේ අන්‍ය ජාතිකයෙක් සමඟ විවාහ වීම මල් පොකුරක් වෙනුවට කටු පොකුරක් අතට ගත්තා හා සමාන බව මේ දෙමළ තරුණයා නොදන්නවා නොවෙයි. ඔහුගේ හැඟීම් අපේ ගීත රචකයා පද රචනය කරනවා මේ වගේ..

" දිව නුහුරු බසින් පෙම් කවි කී කුරුල්ලාට වශි වී
 ගිණි මලින් තැනූ මල් පොකුරක් අතට ගත්තු මනාළී
මධු සමේ මධුර මල් අතරේ පිපී වැනුන සුරූපී"

        දැන් යුද්දයේ දරුණුම කාල පරිච්ඡේදයක්. තමන්ගෙ ජාතිය වෙනුවෙන් හඬ නඟන අරගල කරන පිරිසක් ඉන්නවා. පොත් පෑන් අමතක කරලා, තමන්ගෙ වෙනත් රැකියාවල් වලට සමුදීලා තමන්ගෙ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන පිරිසක් ඉන්නවා. තමන්ගෙ අයිතිය වෙනුවෙන් දිවා රෑ හඬන මේ පිරිස ගැන අපේ ගීත රචකයා මෙහෙම ලියනවා.

" ගිණි අවිත් එක්ක පෙමින් බැඳුණු විහඟ සෙනඟ හඬාවී"

මෙතන දි මෙම පිරිස විහඟුන් යනුවෙන් හඳුන්වන්නෙ ඇයි කියන එක ගැන මට පොඩි ප්‍රශ්ණයක් තිබුනා. එතනදි මොවුන් ත්‍රස්ථවාදීන් ලෙස නොව තම අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන කැරලිකාරයක් පමණක් බව හඳුන්වන්නට යෙදුනු වචනයක් විය හැකීයී.. ඊටත් වඩා සිංහලයින් සිතා ගෙන සිටින විදිහට ඔවුන් නපුරු මිනිසුන් නොවේයැයි කීමට මෙයා භාවිතා කළා විය හැකියී. ඒත් මේ දේවල් කොහොමද සිංහල මිනිස්සු අතරට ගෙනියන්නෙ. ඒකට ආයුධයක් විදිහට තමන්ගෙ සිංහල ජාතික බිරිඳව යොදා ගත හැකි වේයැයි මේ දෙමළ නිළදාරියා සිතූ වාර අනන්තයයි. අපේ ගීත රචකයා ඒක ලියන්නෙ මෙන්නෙ මෙහෙම

"ඒ කඳුළු සිංහලට නඟන්න නුඹට හැකිය ප්‍රියාවී"

නමුත් ඇයට ඒ සඳහා බලපෑමක් නැහැ... ආදරය තෝරා ගන්නාවද නැද්ද කියන කාරණය ගැන ඇයට තවමත් නිදසේ තීරණයක් ගන්න පුළුවන්. අර තරුණ දෙමළ නිළධාරියාගෙ කෝණයෙන් අපේ ගීත රචකයා ගීතයේ අවසාන පද වැළ මෙන්න මෙහෙම සටහන් කරනවා.

"ආදරය නුඹට බාරයි රැකගනින් දේවතාවී"

ගුණදාස කපුගේ මහත්මා ගායනා කරන මේ ගීතයේ පද රචකයා ඇත්තටම කවුද කියලා මම දන්නෙ නෑ. මේ ගීතය ගායනා කිරීම නිසා කපුගේ මහතාට ගොඩාක් ප්‍රශ්ණ වලට මුහුණ දෙන්න පවා සිදු උනා.  
                         යුද්ධය අවසන් දවසේ එක පෙලට මැරී වැටී සිටි ප්‍රබල ත්‍රස්ථවාදී නායකයන් කිහිප දීනෙකුගේ සිරුරු රූපවාහිනි තිරයේ සටහන් වුණු මොහොත මට අද වගේ මතකයි. ටික වෙලාවකින් මම ආදරය කරපු ඒ සොඳුරු ත්‍රස්ථවාදියාගෙ සිරුර රූපවාහිනී තිරයේ දිස් උනා. ඒ නඩේසන්. අනිත් ත්‍රස්ථාවාදීන් ගේ මරණය  හා යුද්ධය සහමුලින්ම ඉවර වීම පිළිබඳව ඒ මොහොතේ මා විඳවමින් සිටි සතුට අතරින් සිහින් දුකක් ගලාගෙන ගියා.
    නඩේසන් කියන්නෙ එල් ටී ටී ඊ යට ත්‍රස්ථවාදය වෙනුවට ජන අරගලයක මුහුණුවරක් දෙන්න උත්සාහ කරපු නායකයෙක්. බොහොමයක් නායකයන්ගෙ අදූරදර්ශී ක්‍රියා කලාපය නිසා එය ත්‍රස්ථවාදී සංවිධානයක් උනා. අදටත් ගොඩක් පිට රටවල් වල අය දන්නෙ එල් ටී ටී ඊ ය යනු කැරලිකරුවන් පිරිසක් බවයි. ඒ නිසාම තමා අපේ රටට මෙච්චර බලපෑමක් එන්නෙ. මමත් හදවතට එකඟව ත්‍රස්ථවාදය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ශේප කරන එල් ටී ටී ඊ යට විරුද්ධව යුරෝපෙදි උද්ගෝශණ වලට පවා සහභාගී වූ අයෙක්. නමුත් නඩේසන් මගේ ප්‍රියතම , මම ආදරය කරන චරිතයක් වී තිබුනා. අවසානයේ තමන්ගෙ සංවිධානය ත්‍රස්ථවාදී මුහුණුවරක් ගැනීම ගැන නඩේසන් දුකින් සිටි බවද සඳහන් වෙනවා. එල් ටී ටී ඊ සංවිධානයේ පොලිස්පති ලෙස නඩේසන් කටයුතු කළ අතර නඩේසන් ගේ සිංහල ජාතික බිරිඳ එහි කාන්තා පොලිස්පති ලෙස කටයුතු කළ බවද වාර්ථා උනා.

ශශී
මේ සටහන ලියන්න මට සිත් උනේ කාලෙකින් හම්බුනේ නැති ඉස්කෝලෙ කාලෙ හොඳම යාළුවෙක් ලඟදි ෆේස් බුක් එකේදි හම්බ වෙලා චැට් එකක් දැම්මට පස්සෙයි...අමතක වෙලා තිබුනු හොඳම යාළුවන්වත් ෆේස් බුක් හින්දා පහු ගිය කාලෙ හම්බුනානෙ. විශේශයෙන්ම ඉස්කෝලෙ කාලෙ යාළුවො...චැට් එක පටන් ගත්තු ගමන්ම මම ඇහුවෙ
''කෝ උඹේ ලව් එක? මොකද ඒකට උනේ කියලා''?
ඇත්තටම අපි ඒලෙවල් කරන කාලෙ ගොඩක් ප්‍රසිද්ධ ආදර කතාවක් ඒක ...
'' මේකනෙ ශශිකයා උනේ. අපි දෙන්න එක්සෑම් ඉවර උනාට පස්සෙ වෙන් උනා බං''
මෙන්න මේකා එහෙම කියපි... ආදර කතාව ඉවර උනා කියලා අපි දැනගෙන හිටියත් හරියටම මොකද උනේ කියලා අපි ඒ කාලෙ දැනගෙන හිටියෙ නැහැ...ඒ හින්දා මගෙන් ප්‍රශ්ණ කෝටියයි.
''කවුද නැවැත්තුවෙ? ඇයි නැවැත්තුවෙ? කින්ද ? මන්ද''?
''නැහැ බං කාගෙවත් අතේ වරදක් නෑ. අපි දෙන්නම කතා කරලා තමයි නැවැත්තුවෙ''.
කියලා තවත් මොනාදෝ දෙයක් නොකියා නැවැත්තුවා වගේ මට දැනුනා....සමහර වෙලාවට කෙල්ල සල්ලිකාර පවුලක හින්ද වෙන්න ඇති. මටනම් හිතුනෙ එහෙමයි. ඒත් උඹ නොකියපු දේ ඒක නම් ඔන්න මම තවත් ඒ ගැන අහන්නෙ නෑ.


''ඉතිං බං ඊට පස්සෙ උඹට කෙල්ලව සෙට් උනේ නැද්ද?''
'' මීට අවුරුදු දෙකකට විතර කලින් හම්බුනා බං''
''නෑ මරුනෙ බං ඉතිං..කොහෙදිද''?
''හ්ම්ම් මම දවසක් කුලියාපිටියෙ ක්ලාස් යද්දි බං..ඒකි දැන් බැඳලා කොල්ලත් එක්ක හිටියෙ..ළමයි දෙන්නෙකුත් ඉන්නවලු බං...''
''අප්පට සිරි.. එපා වෙනවනෙ.. උඹ ඉතිං කතා කළාද''?
''ඔව් බං..එයත් කතා කලා. මාත් කතා කලා. වැඩි දෙයක් නෑ.. එයා යන්නම් කියල යන්න හදුවා. මාත් යන්නම් කියල එන්න ආව.''
ඇත්තටම මෙහෙම කියද්දි මටත් මාර දුක හිතුන.. ඒත් මේ වගේ දුක්බර අවසානයක් තියෙන හැඟීම්බර ආදර කතා වලට මම හරි ආදරෙයි....
''ඉතිං උඹට දුක හිතුනෙ නැද්ද''? ...... මගෙන් ආයෙත් ප්‍රශ්ණයක්...
''දුක ...දුක නම් මොනාද බං''?
'' මචං මේ අහපන්. අපිට මතකනෙ බං උඹල දෙන්න ලව් කරපු හැටි. ෆුල් සීරියස් නෙ. ඉතිං එහෙම එකේ බං අඩුම තරමෙ උඹල දෙන්නට යාළුවො වගේවත් ඉන්නනෙ තිබ්බෙ ... කෙල්ලව දැන් ආයෙත් කන්ටැක්ට් කර ගන්න විදිහක් නැද්ද''?
''එහෙම කර ගන්නනම් තිබ්බා.. ඒත් පරණ දේවල් මතක් වෙන හින්දා මම එහෙම ඉන්න කැමති නෑ බං''
''හ්ම්ම්ම් ඕකේ ඕකේ....අපි දැන් ඒලෙවල් කරලා අවුරුදු 6 ක් ඉවර වෙන්නත් ලඟයි නෙ....උඹ කෙල්ලව සිරාවටම අමතක කරලද ඉන්නෙ''?
''අනේ මන්දා බං...අදටත් වෙන්නප්පුව බස් ස්ටෑන්ඩ් එක දකිද්දි අපි මෙතනින් බස් එකට නැඟලා පන්ති ගිය හැටි, අපි දෙන්න ඉස්සරහින් යද්දි උඹල ගැන්සිය අපිට විහිළු කර කර පිටි පස්සෙන් ආපු හැටි, අපි දෙන්න ක්ලාස් ඇරිලා මඟින් බස් එකට නඟිනකන් උඹලා අපි දෙන්නට සීට් එකක් අල්ලගෙන හිටිය හැටි, මීගමු ක්ලාස් යන කාලෙ අපි ඇවිදපු තැන් අදටත් දකින කොට පපුව දාලා යනවා බන්......''


මටත් මේක අහලා දැන්නම් ටිකක් ඇඩෙන්න වගේ...පොර හොඳටම හැඟීම්බර වෙලා....දැන් දැන් ටයිප් කරන වේගෙත් බාල වෙලා.....මගෙත් පපුවෙ මොනාදෝ හිර වෙලා වගේ...කමක් නෑ කියලා ඒ වෙලාවෙ හොඳද නරකද කියලා බලන්නෙ නැතුව හිතට ආපු අන්තිම ප්‍රශ්ණෙත් මම ඇහුවා.


''උඹ කෙල්ලට තාම ආදරේද''?
''ශශිකයා එපා බං :@ :@''
ඊට පස්සෙ මම සොරි බං කියල ලියල යවන්න හදද්දිම


-HE  APPEARS TO BE OFFLINE-


කියලා වැටුනා චැට් බොක්ස් එකේ. ඇත්තටම මටත් ගොඩාක් දුකයි. ඒ වෙලාවෙ මගෙ යාළුවා හිතින් ගොඩාක් වැලපෙනවා ඇති, හදවතින් අඩනවා ඇති කියලා මට හිතුනා... මට ඒ වෙලාවෙ එයා විඳපු හැඟීම මටත් දැනුනා වගේ. මම හිතින් ඒ හැඟීම වින්දා. ඇස් වල නැතත් හදවතේ කඳුළු පුරෝගෙන...ඒ දෙන්නගෙ ආදර කතාව ඇත්තටම ලස්සන එකක් උනා ඒ දවස්වල. ඒත් අද කාගෙවත් කිසිම වැරැද්දක් නැතුව දෙන්න වෙන් වෙලා. ජීවිතෙ එහෙම තමයි. චැට් එකෙන් ඕෆ්ලයින් යන්න පුළුවන් උනත් ආදරෙන් අපිට ඕෆ්ලයින් යන්න බෑ.
එක්තරා කාලයක අපේ ජීවිතේ කොටසක්ම වෙලා අපි ලඟින් හිටපු, අපිත් එක්ක ජීවිතේ බෙදා ගත්තු, පණ වගේ ආදරය කරපු, අනාගතේ සැලසුම් කරපු යම් පුද්ගලයෙක් තවත් කාලයක නිකන්ම නිකන් අමුත්තෙක් වගේ, නන්නාඳුනන්නෙක් වගේ මඟදි හම්බෙලා වෙන් වෙලා යන්න පුළුවන්. ඒකයි ජීවිතේ හැටි. මේ සිදුවීමත් එක්ක මට මතක් උනේ ගුණදස කපුගේ මහත්තයා කියන මේ ගීතය කොච්චර යථාර්තවාදිද කියලා.

''නන්නාඳුනන ලෙසේ මඟ තොට යළිත් හමු වෙලා
මහමෙර හිසින් දරාගෙන අපි යමු දුරස් වෙලා''

ශශී
සඳවතියෙ නුඹ මා සිත් අහස සනහලා
පෑයූ දා ඉඳන් මුළු හදවතම ලෙඩ වෙලා.
රෑ අහසෙ මං...තරු කැටයක්ව පායලා
ළංවෙන්න බැරි සඳ රැස් වලට පෙම් කලා.

දන්නවද? මම ඉන්නෙ හීනේක තනි වෙලා
නෙතු වලට නින්ද නෑ... නුඹ ගැනම හිත හිතා.
අහිමි බව දැන දැනම මං නුඹට ළං වෙලා
බැඳපු බැමි බිඳලන්න හිතෙනව මට නුඹ නිසා.

ඇල ඉවුරෙ ඇවිද යමු අතින් අත පටලවා
තනි වෙන්න අවසරද? නුඹ ළඟම රෑ පුරා.
තරු කුමුදුනියන්ට හොරෙන් හිමි හිමිහිට ළං වෙලා
සම්මතේ බිඳ ළමුද තොල් වලට තොල් තියා.
ශශී
නුඹෙ පුංචි වෙනසකින්
මහමෙරක් තරමට
හිතට දුක් දැනෙන කොට
රෑ ඇඳේ තනිවෙලා
කොට්ටයට දුක කියන්
හිත හදා ගන්න  ඕනෙ මට...
නුඹෙ හිතට දුක් නොදී

දුක් කඳුළු හද දරන් 
නිදි නැතිව රැය පුරා
උහුලන්න ඕනෙ මට.....
නෙත් අගින් කඳුළු වී
ගලන දුක් ගංගාව
දරන්න හැකි වේවි
දුක හොඳට හුරුයි මට....
ඒත් හිත නුඹට බැඳුනු තරමට
ඒ දුක ඉවසන්න බෑ මට...
                           
ශශී
පෝ දා සඳ ආවත්
අද මගෙ ලඟ තනියට
මැදියම් අහසින්
එබෙන කොට කවුළුවට
සඳ තරු පෑවුවත්
අඳුරයි මගෙ සිතට
තත්පරයක් ඔය ඇස් දෙක
දකින්න වරම් නැති කොට
සරා සඳ නුඹයි
රාත්‍රියත් එළිය කොට
හීනයක් වෙලා වත්
එනවද මගෙ ලඟට....?

                           
ශශී

සමනලුන් වල් වැදුනු ගංදෑල ළඟ තනිව
අතීතය සිහි කරමි නෙත් දෙකත් පියාගෙන
නියඟයක් ඇවිත් ගඟ සිඳී ගිය විලස
ඔබ වෙන්ව ගිය දවස මතකයි මට අද සේම.....

සුදු පට මල් කඩන් නුඹේ හිස දවටන්න
නුඹෙ සිහින් නළලතත් ඇත්තමයි සිපගන්න
අත්ල මත අත් තබා හෙමින් මට මුමුණන්න
ඔය දුඹුරු ඇස් අගින් රහසකුත් පවසන්න....

උරහිසට තුරුළු වී උණුසුමට මෙග ළගට
අපි අපේ නොවුනොතින් ඇත්තමයි මියැදෙන්න
පපුතුරේ අත් තබා නුඹත් මට දිවුරන්න
මුමුණාපු ඒ මොහොත සත්තකින් අමතකද?.......

නුඹෙ සියක් මතකයන් ගං දියේ හංගෙගන
සිටියත් ගං ඉවුර වියළී ඇත සිත් ඉවුර
හදවතම දව දවා නුඹෙන් මට ශේශ වුන
මතකයට සමුදෙන්න ඉතින් මට අවසරද?....


ශශී
නුඹෙ හිත මම රිදුවෙ නෑ ඔය නෙත් තෙමේවි යැයි දුකයි
ඔය තටු මම සිඳුවෙ නෑ නුඹ අතරමං වේ දැයි දුකයි
නුඹට දුක් දුන්නෙ නැහැ මහෙමර තරම් වින්දෙ මම දුකයි
නුඹට ඔය හැටිම දුක් නොදුන් මම ගැනම අද මට දුකයි