ශශී

දෙයියනේ කියලා රස්නෙ කාලෙත් ඉවර වෙලා ඔන්න දැන් සීත කාලෙ ටිකෙන් ටික ඒගෙන එනවා. මෙච්චර කල් රස්නෙට බැන බැන උන්න කට්ටිය දැන් ලෑස්ති වෙන්නෙ සීතට බනින්න. මේ කාලෙ උදේටයි රැ වෙද්දියී සීතල ටිකක් තියෙනවා. දවල් වරුව නම් සෙල්සියස් අංශක 18 ක විතර උශ්ණත්වයක් තියෙනවා. උදේටයි රැටයි හීටර් එහෙම දාන්න වෙන තරමට ම සීතල අල්ලනවා...
   සීතල කාලෙ ගැන කථා කරන කොට හිම ගැනත් කථා නොකරම බෑනෙ.... මේ තියෙන්නෙ පහු ගිය සීත කාලෙක හිම වැටෙද්දි ගත්තු ෆොටෝ ටිකක්....



 "ගොන්දෝලා" යනුවෙන් හැඳින්වෙන පාර්ම්පරික බෝට්ටු විශේශය.








වෙනිස් ශාන්ත ලුසියා දුම්‍රිය ස්ථානය.




ශශී

සතියකට සැරයක් විතර තමා මට මෙහෙ ඉඳන් ලංකාවෙ ගෙදරට කථා කරන්න හම්බෙන්නෙ. ගෙදර ඉන්ටර්නෙට් නැති හින්ද ටෙලිෆෝන් එකෙන් තමා කථා කරන්න වෙන්නෙ. ගොඩාක් වෙලාවට කථා කරන්නෙ අම්මා එක්ක විතරයි. එහෙම බැලුවහම තාත්තා එක්ක කථා කරන්න හම්බෙන්නෙ ගොඩාක් කලතුරකින්. එකක් තාත්තා වැඩ ඉවර වෙලා රෑ ගෙදර එන හිංදා... අනිත් එක ඉතින් පිරිමි ළමයින්ට, වැඩිය තාත්තලත් එක්ක කතා කරන්න දේවල් නැහැලුනෙ .. අම්මලත් එක්ක කථා කරන දේවල්ලු  නෙ තියෙන්නෙ. කොහොම හරි අම්මයි, තාත්තයි, නංගීයී තුන් දෙනාටම එක වෙලාවට කථා කරන්න වෙලාවක් හදා ගන්න එක ගොඩාක් අමාරු වැඩක්. ඉරිදට ඒ කට්ටියම ගෙදර හිටියත්, මම ඉරිද මෙහෙ වැඩ හිංද එදාටත් බෑ. 
        ඉතින් ඊයෙ පෙරේදා දවසක කතා කළාම තුන් දෙනාම ගෙදර. හොඳට කථා කරන්න හම්බුනා. අම්මත් එක්ක මුලින්ම කථා කර කර ඉද්දි, ඈතින් මට ඇහුන තාත්ත ඉස්සර වගේම හයියෙන් සිංදුවක කෑල්ලක් කිය කිය හිටියා. මෙහෙටත් මොර සූරන වැස්ස. හරියටම මේ වගේ,  ලංකාවෙ වහිද්දි අපි ඉස්සර බාගෙට හදල තිබුනු ගෙදර, තිබිච්චි එකම කාමරේට  තාත්තා ගාව ගුලි වෙලා, තාත්තා සින්දු කියනවා අහගෙන ඉන්නවා.. ඒ එක්දහස් නවසීය අනූ ගණන් වල මුල් හරියෙ. සමහර දවස් වලට උණු තේ ත් එක්ක අම්මා හැලප එහෙම හදලා තියෙනවා. වැස්ස එක්ක පළාතම කළු කරල ඇඟේ හිරි ගඩු පිපිලා එහෙම එද්දි තාත්තා සිංදු පටන් ගන්නවා.

" දුර ඈත දේශෙන් 
මෙහි ආ දිනේදී
මට දී නවාතැන්
මේ පුංචි කුටියේ.....
මට පෑ ඔබේ ආදරේ.....
නොමැකී තියේ මා හදේ  ........"



ඔය සිංදුව කිය කිය තාත්තා නංගිව හුරතල් කරනවා. එතකොට නංගිට අවුරුදු 3 ක් 4ක් ඇති. මටත් අවුරුදු 8 ක් 9 ක් ඇති..
අදටත් මට මේ සිංදුව කට පාඩම් විතරක් නෙවේ. පස්සෙ කාලෙක මේ සිංදුව තියෙන කැසට් පීස් එක පවා ගෙදර ගෙනත් තියාගෙන ඇහුවා මම. අදටත් තනියම ඉද්දි මම ගොඩාක් රස විඳින සිංදුවක්.  
ඒ එක්කම තාත්තා හැම තිස්සෙම කියන සිංදුවක් තමා

"සඳ කිඳුරු කිඳුරියන්"

කියන සිංදුව. ඒ කාලෙ මාර ජනප්‍රියයි. කොලඹ ඩී අයි ජී තුමා කොල්ලා කාලෙ කියපු සිංදුවක්නෙ.




ඒ වගේ පරණ සිංදු වලින් තව 

"එක යායට මල් පීදුනු බිම් තීරේ
පාර දිගේ කණින් කණට
කොඳුර කොඳුර ඔබයි මමයි විතරයි හිටියේ...."

සිංදුවට තාත්තා ගොඩාක් කැමතීයී. තාත්තා ගොඩාක් වෙලාවට  ඒකත් ලස්සනට කියනවා ඉස්සර.



දවස් දෙකක් විතර තිස්සෙ හොඳට වහිනවා. රස්නෙත් අඩු වෙලා. වටේ පිටේත් කළුවරයි. මෙන්න මේ වගේ වෙලාවට ඇඳ ට වෙලා ඇස් දෙකත් පියාගෙන ඒ ගෙවුණු අතීතයේ සොඳුරු නිමේශයන් සිහි කරනවා රම් රසයක් තවත් නෑ.
ශශී

"සිහිනයක් වෙලා රෑ පුරා
සිහිනයෙන් ඇහැරිලා..........
සිහින ගං තීරයේ
අත වනයි ආදරේ........"

මේ සිංදුව ඉතාලියෙ ඉන්න අලුත් ගායකයෙක්ගෙ. ඒ උනාට සි\ංදුව නම් සුපිරියී. අහපු ගොඩාක් අය කිව්වෙ ඒ සිංදුව අහද්දි භාවනාවක් කරනව වගේ දැනුනා කියලා. අහල බලන්නකො එහෙනම්....





මේ තියෙන්නෙ නන්දා මාලිනී මහත්මියගෙ වැඩිය ඇහෙන්නෙ නැති සිංදුවක්.

" ගිරි සිරසින් සඳ පායා
කැළුම් ගලයි නෙතු පාරා
රැයක් උදා වී දෑත විඩා වී
කම්හල් දොරකඩ වාරු නොමැති වී
නුඹ ඉකිලන හඬ කාට ඇසේදෝ..........."

ඇඟළුම් කම්හල් සේවිකාවක් ගැනයි මේ ගීතයෙන් කියවෙන්නෙ. මේ සිංදුවෙ යූ ටියුබ් වීඩියෝව නම් හොයා ගන්න බැරි උනා. මේ තියෙන්නෙ වෙන අඩවියක ලින්ක් එකක්. රස විඳින්න මෙතනින් පුළුවන්.

http://lktunes.com/sinhala-mp3-song/6011/giri-sirasin-by-nanda-manali

"සඳකැන් ඇවිදින් සුපිපුණු කුසුමන් සිඹිනා නිසල රැයේ
සීතල උමතුව ඉඳි කටු තුඩගින් අනිනා නිහඬ පැයේ
නිදන්න සොඳුරිය, නිදන්න ඔබෙ හිස රඳවා මාගෙ ළයේ......."

අමරසිරි පීරිස් මහත්තයගෙ තවත් ලස්සන සිංදුවක්.





"සොඳුර නුඹ ලිහිණියක රැයේ අඳුරට හඬන 
මමද ලිහිණියෙකු වෙමි කැඩුන තටු පිරි මඳින "

ගුණදාස කපුගේ මහතා ගායනා කරන ලස්සන සිංදුවක්. 71 කැරැල්ලට සම්බන්ධ සින්දුවක් ලු. වැඩිය ඇහෙන්නෙ නැති උනත් ලස්සන ගීතයක්.....



මේ සිංදු කලින් අහලා තියෙන අයත් ඇති... ඒත් ගොඩාක් අය දන්නෙ නැති හින්දා දාන්න හිතුවා. රස විඳලා බලන්නකො ඔයාලා කලින් අහලා නැත්නම්.....
ශශී

ඔන්න ඉතින් මම පළවෙනි ලිපියෙ ලිව්ව විදිහට සුන්දර ස්විට්සර්ලන්තයට ඉතාලියේ ඉඳන් දුම්‍රියෙන් සංචාරය කරපු හැටි මේ ලිපියෙන් කියන්නයි යන්නෙ. මම ගමන ආරම්භ කළේ "වෙනිස් ශාන්ත ලුසියා" දුම්‍රිය ස්ථානයෙන්. එතන ඉඳන් පැය දෙකකුත් විනාඩි හතලිහක පමණ කාලයක දුම්‍රිය ගමනකින් අනතුරුව මිලානෝ දුම්‍රිය ස්ථානයට ළඟා උනා. එතන පැය භාගයක පමණ හුවමාරු කාලයකින් අනතුරුව මිලානෝ සිට zසූරිච් දක්වා ගමන් ගන්නා දුම්‍රියෙන් මට ගමන් කිරීමට නියම්තවයි තිබුනේ. 
                           මගේ ගමනාන්තය වී තිබුනේ, zසූරිච් වලට මිනිත්තු හතලිහකට පමණ මෙපිටින් වූ "ආර්ත් ගෝල්ඩවු" නමැති දුම්‍රිය ස්ථානයයි. මිලානෝ  සිට ආර්ත්ගෝල්ඩවු වෙත ඇත්තේ පැය දෙකකුත් විනාඩි තිහක පමණ කාලයක්.   ඉතින් මේ ගමනේදී මිලාන් වලින් ගමන් අරඹා මිනිත්තු තිහක් පමන ගිය පසු ඉතාලි ස්විස් දේශ සීමාවට ළඟා වෙනවා. මේ දුම්‍රිය මාර්ගය වැටී තිබෙන්නේ ඉතාම සුන්දර ස්වාභාවික පරිසරයක් මැඳින්. ප්‍රධාන වශයෙන් ඉතාලියෙන් පටන් ගන්න ස්විට්සර්ලන්තයෙන් අවසන් වන මේ රාජ්‍යයන් දෙකටම අයත් "ලාගො මජ්ජියෝරෙ" ( Grand Lake) යන විශාල, ඉතාම මනස්කාන්ත විල මේ දුම්‍රිය මාර්ගයට සමගාමීවයි පිහිටා තිබෙන්නේ. මේ පින්තූර දෙකේ ඔබට පෙනෙන්නේ මේ විල දේශ සීමාවෙහි දර්ශණය වන ආකාරයයි




මේ දුම්‍රිය නවතා තිබෙන්නේ "කියාස්සෝ" යන ඉතාලි ස්විස් දේශසීමාවේ පිහිටා ඇති දුම්‍රිය ස්ථානයයි.  

 
මෙම දුම්‍රිය ස්ථානයෙදී ආරක්ශක නිළධාරීන් පරික්ශා කිරීම් කරන අතර, දුම්‍රිය  ඒ සඳහා ටික වෙලාවක් නවත්වා තබනවා. මේ වන විට ඉතාලියේ සියළුම දුම්‍රිය ස්ථාන වල තිබුණු ගෘහ නිර්මාණ ශිල්පය පවා වෙනස් වී මෙතැන් පටන් ස්විස් ගෘහ නිර්මාණ ශිල්පය සහිත දුම්‍රිය ස්ථන දැකිය හැකීයී. ඒ වගේම අනෙකුත් ගොඩනැඟිලි වල ගෘහ නිර්මාණ ශිල්පය, දුරකථන සංඥා සහ  වාහන වල අංක වෙනස් වීම යන කාරණා වලින් අප දැන් සිටින්නේ ස්විට්සර්ලන්තයේ බව වටහා ගන්න පුළුවන්.            
අවට පරිසරය සම්පූර්ණයෙන්ම කඳු වලින් වැසී තිබෙනවා. මේ නිසා මහා මාර්ග, දුම්‍රිය මාර්ග සාදා ඇත්තේ කඳු හරහා.....

 
 
 
 
 
 


  මේ කඳු වලට හානියක් සිඳු නොකර කඳු දෙකක් හරහා සාදන ලද මහා මාර්ගයක්...


ශාන්ත ගාලන් ( ST. Gallen) ප්‍රාන්තයෙහි මා නෙත ගැටුනු සුන්දර කඳු පංති කීපයක්

 
 
 
 
 
 



 

මේ උස කුළුන දේවස්ථානයක පිහිටි ඔරලෝසු කණුවක්. මෙම ගෘහ නිර්මාණ ශිල්පය ස්විස් දේවස්ථාන වල දකින්න ලැබෙන විශේශ ලක්ශණයක්.. ඒ වගේම මල් වලින් සරසා ඇති නිවස, එයත් ස්විස් ගෘහ නිර්මාණ ශිල්පයේ විශේශතම ලක්ශණයක්. එය ඊළඟ ලිපියෙන් මා ඉදිරිපත් කරන්නම්.

එහෙනම් ඊළඟ ලිපියෙන් නැවත හමුවෙමු. 
ශශී


ඔන්න මීට හරියටම අවුරුද්දකට කලින් සුන්දර ස්විට්සර්ලන්තයේ සංචාරයක යෙදෙන්න මට අවස්ථාවක් ලැබුනා.

ඉතින් ෆේස් බුක් එකට ප්ලෝඩ් කරලා තිබුනු ඒ ෆොටෝස් දකිද්දි හිතුනා මේක බ්ලොග් පෝස්ට් එකකට ලිව්වා නම් හොඳයි කියලා....
         හොඳයි අපි මුලින්ම ස්විට්සර්ලන්තයේ විස්තර ටිකක් දැන කියා ගෙන ඉමුකො.
           ස්විට්සර්ලන්තය කියන්නෙ ඉතාම කුඩා රාජ්‍යයක්. උතුරින් ජර්මනිය, නැඟෙන හිරින් ඔස්ට්‍රියාව, දකුණෙන් ඉතාලිය, බස්නාහිරින් ප්‍රංශය යන රට වලට මායිම් වෙච්චි ලස්සනම ලස්සන ස්වාභාවික සෞන්ර්‍යයකින් පිරුණු රටක්.

                මේ පුංචි රට, අපේ රටේ දිස්ත්‍රික්කයක් විදිහට හඳුන්වන්න පුළුවන් ආකාරයේ ප්‍රාන්ත 26 කට බෙදා තියෙනවා. මේවා හඳුන්වන්නේ කන්ටොනන් (Kantonen) වශයෙන්. ස්විට්සර්ලන්තය තුළ කථා කරන ප්‍රධාන භාශා 3ක් වෙනවා. ඉතාලියට මායිම් වූ "තිචීනෝ" (Ticino ) දිස්ත්‍රික්කය තුළ ඉතාලි භාශාවත්, ප්‍රංශයට මායිම් වූ "ජෙනේවා" ( Geneva) දිස්ත්‍රික්කය සහ තවත් දිස්ත්‍රික්ක දෙක තුනක ප්‍රංශ භාශාවත්, අනිත් සෑම දිස්ත්‍රික්කයක් තුළම ජර්මන් භාශාවත් කථා කරනවා.

                              ජර්මනියෙ කථා කරන ජර්මන් භාශාවයි, ස්විට්සර්ලන්තයේ කථා කරන ජර්මන් භාශාවයි අතර ප්‍රාදේශීය වෙනස්කම් දකින්න ලැබෙනවා. උදාහරණයක් විදිහට "අල්ගෙමයින ඖස්ඩ්‍රියුක" (Allgemeina Ausdrueke) (පොදු ප්‍රකාශයන්) විදිහට හඳුන්වන්න පුළුවන් සුභ දවසක්, ස්තුතීයී, කරුණා කරලා, සමා වෙන්න වැනි ප්‍රකාශයන් භාශා දෙකේම සමානයි.
          සමහර වචන තියෙනවා භාශා දෙකේම දෙවිදිහකට භවිතා කරන. උදාහරණයක් විදිහට "රසයි" යන්න "ලෙක" (lecker) යනුවෙන් ජර්මන් භාශාවෙහි හඳුන්වන අතර, එය ස්විස් ජර්මන් වලදී" ෆයින්" (Fein) යනුවෙන් භාවිතා කරනවා.
                  බොහොමයක් වචන තිබෙනවා එකම වචනය උච්චාරණයේ දී යම් යම් වෙනස් කම් සහිතව භාශා දෙකෙහිම භාවිතා වෙන. උදාහරණයක් වශයෙන් ජර්මන් භාශාවේ "මම ඔයාට අදරෙයි " යන්න "ඉශ් ලියෙබෙ ඩිශ්" (Ish Liebe Dish)යනුවෙන්. එය ස්විස් ජර්මන් වලදී "ඉ ලියෙබෙ ඩි" (I Liebe Di) වෙනවා. පැහැදිලියීනෙ.
              ඉතිං ස්විට්සර්ලන්තයේ රාජ්‍ය භාශාව විදිහට ජර්මන් පිළිගත්තත් කථා බහ කිරීමේදී මේ ගොල්ලො යොදා ගන්නෙ ස්විස් ජර්මන්. මීට අමතරව " රෙටරොමානිශ්" යනුවෙන් ඉතාලි භාශාවට  සමාන භාශාවක් කඳුකර ප්‍රදේශ වල ඉතාල සුළු පිරිසක් කථා කරනවා. එය මුල් පදිංචි කරුවන්ගේ භාශාවක් ලෙස සලකනවා. ස්විට්සර්ලන්තයේ භාවිතා වෙන මුදල් ඒකකය "ස්විස් ෆ්‍රෑන්ක්"
            මානව හිමිකම් සංවිධාන, රතු කුරුස සංවිධාන වල උපත සිදු උනු මේ රටේ ප්‍රධාන ආගම ලෙස සැලකෙන්නෙ කතෝලික ආගමයි. ඊට අමතරව ප්‍රොතෙස්තන්ත ආගම් බොහොමයක් තියෙනවා.
                සරණාගතයින්ට දොර විවර කළ රටක් වශයෙන් දේශපාලණ රැකවරණ පතා පැමිනි පිරිස අති විශාලයි. ඒ අතරින් යුගෝස්ලාවියානුවන් මූලික තැන ගන්නවා.
              මෙහි ප්‍රධාන ආදායම් මාරගය වන්නෙ බැංකු සමූහයයි. ඊට අමතරව සංචාරක

, ඔරලෝසු කර්මාන්තය,


 කෘශිකර්මාන්තය,


කිරි චීස් වැනි සත්ව නිශ්පාදන ආර්ථිකය ශක්තිමත් කරන ප්‍රධාන සාධකයන්.


ඔන්න මම දන්න කියන විස්තර ටිකක් විතර ලුහුඬින් ඔබට ඉදිරිපත් කලා. මම සංචාරයේ යෙදුනේ "ශාන්ත ගාලන්" දිස්ත්‍රික්කය තුළයි. එය ස්වාභාවික සෞන්දර්‍යය සපිරි ගැමි පරිසරයකට උරුම කම් කියන ස්විට්සර්ලන්තයේ ඇති දිස්ත්‍රික්කයන් තුළින් ආකර්ශණීයම දිස්ත්‍රික්කයන්ගෙන් එකක්.


                  ඉතිං ඉතාලියේ සිට දුම්‍රියෙන් එහි ගිය ගමන සහ මා රස විඳි ගමනේ සියළු විස්තර, කොටස් කීපයකට බෙදා සිත නිවන තැනෙ හි පළ කරන්නට අදහස් කළා. ඉදිරි කොටස් වලින් ඒ සියළු විස්තර ඔබ හමුවට ගෙනෙන්නම්. එතෙක් ඔබට "ට්ශූස්" (tschues) ( bye)


ශශී


ජනප්‍රිය වෙන්න ඕනෙ උනත්, ජනප්‍රිය වෙලා නැති සැඟවුණු සිංදු කීපයක් ගැනයි මේ. මුලින්ම මෙන්න මේ සිංදුව මට හම්බුනේ "හමු වෙන්නට සමු ගන්නට " ගීතය යූටියුබ් එකේ සර්ච් කරන කොට. පේරාදෙණිය සරසවිය සම්බන්ධ සිංදුවක් ... අනිවාර්‍යයෙන්ම ලස්සන වෙන්න එපැයි නේ. අහල බලන්නකො. මේ සිංදුව කියන්නෙ කවුද කියලා මට හොයා ගන්න බෑ. සමහරු කියනව ක්ලැරන්ස් මහත්තයා කියලා. ලස්සන මියුසික්. ඒ වගේම සිංදුවට ගැලපෙන්නෙ ලස්සනට ෆොටෝ එහෙම දාල වීඩියෝ එක එඩිට් කරලා තියෙනවා. පාළු හැඟීමක් හිත පුරා විඳ ගන්න පුළුවන් ගීතයක්.

"සරසවි උයනේ
මේ තුරු සෙවණේ
අපේ සොඳුරු ලොව අතීතයේ
මහවැලි ඉවුරේ
නිසසල අරණේ
නැඟූ සිහින ලොව බිඳී ගියේ"........





මේ තියෙන්නෙ තවත් ලස්සන සිංදුවක්.

"අතීතයෙන් සැඩ සුළං හමා
සැලේ මගේ නෙතු පහන්
තරු මකා දමා වළාවකින්
ඔබ යන්න මතකයෙන්"

ගායනා කරන්නෙ නිර්මලී මාකලන්ද. සංගීතය හර්ශ මාකලන්ද. පල්ලියෙ ඇහෙන ගීතිකාවක් වගේ හිත පහන් වෙන ලස්සන සිංදුවක්.





"සඳ එළිය 
විල් දිය මත වැටී
කරන දඟ කම් 
හරිම හුරතල්"

අමරසිරි පීරිස් මහත්තයගෙ ලස්සනම ඒ උනත් වැඩිය ඇහෙන්නෙ නැති සිංදුවක්. අහල බලන්නකො කොහොමද කියලා.





"පුර හඳ තියෙන රෑට
තරු එලී මකා දමන්න 
ලෝභ කමට මූණ සිඹින්න
රෑට රෑට සඳ යහනට 
කතා කරන්න
ඇස් දෙක දිහා බලන්න
ආදරේට පාර කියන්න"

මේක කියන්නෙ ඉමාන් පෙරේරා. අහලා ඇතිනෙ ඉමාන් ගෙ සිංදු. ලියල තියෙන්නෙ සන්නස්ගල සර්.  ඉතින් වචන වල තියෙන ලස්සන ගැන ආයෙත් අහන්න දෙයක් නැහැනෙ. හරිම ලස්සන සිංදුවක්. ඒත් වැඩිය ඇහෙන්නෙ නෑ.


මේ සිංදු වලින් සමහර ඒවා ඔයාල අහලත් ඇති.අහලා නැති අයත් ඇති. බලන්නකො අහලා බලලා ඔයාලගෙ රසවින්දනයට ගැලපෙනවද කියලා. තව කීපයක් තියෙනවා ඉදිරි පෝස්ටුවකින් ඒවත් දාන්නම්.
ශශී


ජේසු තුමාගෙ ගෝලයො දෙළොස් දෙනා ගෙන් එයාව පාවල දීපු ගෝල බාලයා තමා ජුදාස් කියන්නෙ. ජේසු තුමා ව අත් අඩංගුවට ගන්න මාන බල බල හිටපු අධිරාජ්‍යවාදීන්ට වැටහෙනවා ජේසුගෙ ළඟම අනුගාමිකයෙක්ව බිලි බාගන්නෙ නැතුව මේ වැඩේ කරන්න හම්බෙන්නෙ නෑ කියලා. රිදී කාසි 30 ක ඇමක් දීල බිලි බාගන්නෙ පසු පෙළ ගෝලයෙක් වෙච්චි ජුදාස් ව. හරි කථාවෙ අවසානය තමා ජුදාස් ගෙ මාර්ගයෙන් ජේසුව අත් අඩංගුවට ගන්න සතුරු පාර්ශ්වයට ඉඩ ලැබීම. ඊට පස්සෙ ජේසු තුමා මරණයට පත් කිරීම.   මේ මරණයට වග කියන්න ඕනෙ ජුදාස්. ජුදාස් ව හංවඩු ගැහෙනවා කතෝලික සභාව ඇතුලෙදි. කොටින්ම එදා පටන් ම අද දක්වාම පාවල දීමක් කරන මිනිහෙක්ට දෙන සර්ව නාමය විදිහට "ජුදාස්" කියන නම භාවිතා කරනවා. ඒ විතරක් නෙමේ ජුදාස් ගෙ චරිතය ඉතිහාසයෙන් මකල දානවා. එදා පටන් අද දක්වාම අනිත් ගෝලයන් එකොලොස් දෙනා වෙනුවෙන් පල්ලි හැදෙද්දි, ඒ ගෝලයින්ගෙ නම් මිනිස්සුන්ට නම් තියන්න යොදා ගද්දි ජුදාස් කියන නම හිතා මතාම අයින් කරනවා. ඒත් ජේසු තුමා පාවල දෙන්න කලින් මේ ජුදාස්, ජේසු තුමා ළඟින්ම ඉඳගෙන එයාට පැවරුණු කාර්‍යයන් ඉශ්ට සිද්ධ කරපු අනිත් ගෝලයො වගේම මනුස්සයෙක්.          හරි රස්සාවෙන් ධීවරයො උනු මේ මනුස්සයින්ට අඟ හිඟ කම් නම් ඇති පදමට තියෙන්නෙ ඇති. ඉතින් අත මිට හිඟ කම හිංඳම මුහුදු රස්සා යාමෙන් විතරක් ජීවිතේ ගැට ගහ ගන්න බැරුව උන්නු ජුදාස් මේ ගැටේට අහු වෙනවා.  රිදී කාසි තිහ අරන් ජුදාස් මොකද කළේ. ඒකෙන් හොඳ ඉඩමක් මිළදී ගත්තා.සමහර විට තමන්ගෙ දුවගෙ දෑවද්දට දෙන්න එහෙමත් නැත්නම් පුතෙක් ගෙ ඉගෙනීමට වියදම් කරන්න වෙන්න ඇති. ඒත් මේ තමන් ලොකු වරදක් කළේ කියල තේරුම් අරගෙන ජුදාස් ගොඩාක් දුක් වෙනවා. ඒ දේ කොච්චර හිතට වද දෙනවද කියනවනම් මිනිහා තමන් ගත්තු ඉඩමෙම එල්ලිලා මැරෙනවා.      පොඩි කාලෙ උපදේසෙ පන්තියෙ ටීචර්, ජුදාස් ජේසුව පාවල දුන්නු හැටි උගන්නන්ද්දි ජුදාස්ට තුහ් නොදකින් කිව්ව මම තව ටිකක් ලොකු වෙලා මේ සංසිද්ධිය කියවද්දි හිතේ ඇති කර ගන්නෙ වීරත්වයක්. ජුදාස් කියන්නෙ වීරයෙක්. වැරදි කා අතිනුත් වෙන්න පුළුවන්. ඒත් තමන් කරපු වැරැද්දට පසුතැවිලි වෙලා ජීවිතේ නසා ගන්න එක.  පපුව පැලිල මැරෙන්න තරම් ඒ වැරැද්ද පපුවට ගත්තු ජුදාස් අහිංසක වීරයෙක්.           
                          තවත් දෙයක්. ජේසු තුමා ව අත් අඩංගුවට ගත්තු වෙලාව ඒ සතුරු පාර්ශ්වයෙ හිටපු ගැහැණියක් ජේසුගෙ ප්‍රධානම ගෝලය උනු පේදුරු ව අඳුන ගන්නවා. ඒ කාන්තාව කියනවා මෙයත් ජේසුස් එක්කලා එකට හිටියා කියලා. පේදුරු කියනවා "නෑ" කියල. තුන් පාරක්ම පේදුරු කියනවා මම ජේසුස් ව අඳුනන්නෙ නෑ කියලා. ජේසුගෙ මරණයෙන් පස්සෙ සභාව ගොඩ නඟන්නෙ පේදුරු මත. "පේදුරු නම් ලත් පර්වතය මෙන්න. මෙය පිට මගේ සභාව ගොඩ නඟන්නෙමි" ජේසු තුමා එක තැනක ප්‍රකාශ කලා. එහෙව් පේදුරුත් අන්තිමට ජේසු තුමා ව අඳුනන්නෙ නෑ කියනවා. ඒත් පේදුරු නමින් පසුව බැසිලිකා, දේවස්ථාන ගොඩ නඟනවා. පේදුරුගෙ නම මිනිස්සුන්ට නම් තියද්දි පාවිච්චි කරනවා. ඒත් පේදුරු තමන් මේ කලේ වරදක් බව දැනගෙන පසුතැවිලි වෙලා කලේ අඬපු එක.     
                                            අද කාලෙ  ලක්ශ 30 ක් දෙනවා කිව්වොත් (උඹලටවත්, මටවත් නෙමේ )  මුහුදු රස්සා කාරයෙකුට, කුලී වැඩ කරන කෙනෙකුට, කොහු බත් වේලෙන කෙනෙකුට, අව් කාශ්ඨකේ සිමෙන්ති අනන මිනිහෙක්ට. ඒ මනුස්සයො තමන්ගෙ ආගම උනත් අත ඇරල යන්න ලැහැස්ති වෙයි නේ. ඒකනෙ ඔය බලෙන් ආගම් වලට බඳව ගන්නවා කියල  ගොඩාක් අය කෑ ගහන්නෙ. සල්ලි වලට දුප්පත් මිනිහෙක් තමන්ගෙ ආගම වෙනස් කළහම. මොකද ආගමෙන් කන්න බොන්න දෙන්නෙ නැහැනෙ. අත්තානම් උපමං කත්වා කියලා බුදු හාමුදුරුවො දේශණා  කරලා තියෙන්නෙ,(තමාට උපමා කොට හිතන්න )  අපිටත් පුළුවන්ද ඒ මිනිස්සුන්ට උපමා කරල හිතන්න?    එහෙම බැලුවහම අපි ඔක්කොමලා ජුදාස් ලා. අපි ඔක්කොමලා පේදුරුලා. හැබැයි ඉන්න සමාජ තත්වය ඉහලයි නම් අපේ වැරදි වලින් අපිට නිදහස් වෙන්න ලේසියී. හැබෑයි අපි ඉන්නෙ පහළ සමජ මට්ටමක නම් , දුප්පත් නම් සමාජයෙන් ඒ වැරැද්ද වහන්න හම්බෙන්නෙ නෑ...... ජේසුව අඳුනන්නෙ නෑ කියලා පස්සෙ  ඒ වැරැද්ද තෙරුම් අරගෙන අඬපු පේදුරුට වඩා, තමන් කරපු වැරැද්දට පසුතැවිලි වෙලා එල්ලිලා මැරුණු ජුදාස් මට සුද්දවන්තයෙක් වෙන්නෙ අන්න ඒකයි.

ශශී

එක එක අයට එක එක විනෝදාංශ තියෙනවනෙ. මටත් තියෙනවා ටිකක් අමුතු පහේ විනෝදාංශයක්.චොකලට් කන එක ම නෙමේ. ඇත්තම කියනවනම් මම චොකලට් කන්න මාර ආසයි. ඊටත් වැඩිය මම කාපු රසම චොකලට් ජාති වල හිස් කොළ එකතු කරල තියා ගන්න එක මම විනෝදාංශයක් විදිහට කරන එකක්. ඒ රසම චොකලට් කීපයක් බඩට වැටෙන්න කලින් ගත්තු ෆොටෝ ටිකක් මේ.

මේ තියෙන්නෙ නම් ස්විස් එයාලයින් එකෙන් ඒකෙ ගමන් ගන්න මඟීන්ට දෙන දෙන චොකොලට් පෙත්තක්. මම වැඩ කරන හොටෙල් එකට එකට ආපු ස්විස් යුවළක් ටිප් එකක් විදිහට තියලා ගිහිල්ලා.

මෙන්න මේකෙ තියෙන එක චොකලට් එකක්වත් මගෙ වාසනාවට මට කන්න හම්බුනේ නැහැ. මේ තියෙන්නෙ සම්පූර්ණයෙන්ම අතින් හදලා අතින් ම දවටනය කරපු චොකලට්. ඈතින් ලින්ඩ්ට් කියන ස්විස් චොකලට් වර්ගයත්, මිල්කා කියන ජර්මන් චොකලට් වර්ගත් තියෙනවා. 


මෙන්න මේවා ඔක්කොම ජර්මන් චොකලට් වර්ග. මිල්කා සහ කින්ඩර් යන වර්ග වල. කින්ඩර් චොකලට් වල රස ගැන ආයෙ කියන්න දෙයක් නෑ සුපිරීයී.

මෙන්න ෆෙරේරෝ රොශෙර්. ඉතාලි බ්‍රෑන්ඩ් එකක්. කාපු අය නම් දන්නවා ඇති සුපිරි එකේ හොඳම එක. ඒ වගේම තමයි ගානත්. සාමාන‍යයෙන් ගෑනු ළමයෙකුට තෑග්ගක් දෙනවනම් නියමයි ෆෙරේරෝ . වැනිලා, චොකලට් සහ පොල් රස අඩංගු වර්ග තුනෙන්ම තියෙනවා. 

මේ තියෙන්නෙ ෆ්‍රේ කියන ස්විස් බ්‍රෑන්ඩ් එකෙන් ඩාර්ක් චොකලට් එකක්. අමුතු ගතියක් තියෙනවා.
මෙන්න මේකත් ෆ්‍රේ බ්‍රෑන්ඩ් එකේ. සීරියල් සහ කජු වගේ එහෙම දාල මැද්දට . පට්ටම රසයි.
මේ තියෙන්නෙ "තිරමිසු" රසයෙන් එන චොකලට් වර්ගයක්.
මෙන්න මේ තියෙන්න මුන්ට්ස් කියන ස්විස් බ්‍රෑන්ඩ් එක.
ජීවිතේ කන්න හම්බුන ලස්සනම චොකලට් එක.
මේවගෙ දවටන ගොඩාක් ඒව දිග ඇරල ගත්තහම මාර ලස්සනයි. ලස්සන ඩිසයින් තියෙනව. ඉස්සර අපි ස්ටිකර් එකතු කරනව වගේ විනෝදාන්ංශෙ විදිහට දැන් මම කරන්නෙ මේ දවටන එකතු කරන එක.

මේ විතරක් නෙමේ. ඉස්සර පොඩි කාලෙ කාපු
"ඔබමයි මා හදවතේ
සතුටු සිනාවන් මතු කළේ
එය රසබර හැඟුමක් වේ
සැම මුවේ"
චොකලට් ජාතිය ත් එඩ්නා චොකලටුත් මම ආසම ජාති තමා. දවටනයක් නම් හොයා ගන්න හම්බුනේ නෑ. කාට හරි හම්බුනොත් මට දෙන්න අරන් තියා ගන්න.